දේශපාලන

8 වැනි විධායක ජනාධිපති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පළමුවරට පාර්ලිමේන්තුවේ දී ජූලි 20 දින පෙරවරුවේ දී පැවැත්විය. ඒ ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් පලා යාමත් සමග හිස්වූ ජනාධිපතිධූරය සඳහායි.

ඒ අනුව ඊට අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී සිටියා. ඒ ජූලි 19 දින නාමයෝජනා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය දිනේ්ෂ් ගුණවර්ධන විසින් යෝජනා කර සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් ස්ථිර කරන ලද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය හා වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, පක්ෂ සභාපති, අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් විසින් ස්ථිර කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනා කරන එම පක්ෂයේම ජාතික ලැයිස්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ස්ථිර කරන ලද එම පක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන තිදෙනායි.

කෙසේ වෙතත් ජූලි 20 පෙරවරු 10ට ඇරඹුනු ඡන්ද විමසීමේ දී 223 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද අවසන් කරමින් තේරීම්භාර නිලධාරියා වශයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක නිවේදනය කළේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් විසින් තෝරාපත්කරගෙන ඇති බවයි. ඒ අනුව එක් එක් අපේක්ෂකයා ලබාගෙන ඇති ඡන්ද මෙසේය.

  • රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134
  • ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82
  • අනුර කුමාර – ඡන්ද 03
  • ප්‍රතික්ෂේපිත ඡන්ද 04
  • ඡන්දය දීමෙන් වැළකී සිටි 02
  • වලංගු ඡන්ද 219

ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ තේරී පත් වූ අතර ඊට ගාළුමුවදොර අරගලකරුවන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල විය.

රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ

එස්මන්ඩ් වික්‍රමසිංහ හා නාලිනී වික්‍රමසිංහ යුවලට දාව 1949 මාර්තු 24 වැනිදා කොළඹ කුරුඳුවත්තේදී උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය අවසන් කර ඇත.

උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව සිය උපාධිය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය ද අවසන් කර අධුනික නීතිඥවරයෙකු ලෙස රාජනීතිඥ එච්.ඩබ්. ජයවර්ධන යටතේ පුහුණු වී ඇත. එච්.ඩබ්. ජයවර්ධන යනු මෙරට 1977 ව්‍යවස්ථාව සම්පාදනයට ඍජුව දායක වී ඇති නීතිවේදියායි. එම කාල සීමාව තුළ ම 1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කර ඇති අතර නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹූවද 1977 මහ මැතිවරණයට බියගම ආසනයෙන් තරග වදිමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.

ඉන් ජයගෙන ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

රනිල් වික්‍රමසිංහ විවාහ වී සිටින්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වීමෙන් පසු මෙරට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර රාශියක් හෙබවූ රනිල් වික්‍රමසිංහ මෙරට වැදගත් ආයතන කිහිපයක් ද නිර්මාණය කිරීමට සමත් වී ඇත.

1989 මාර්තු 06 සිට 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් 1993 සිට 1994 දක්වා අග්‍රාමාත්‍යධූරයට පත්විය. පසුව 2001 සිට 2004 දක්වාත් 2015 දීත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු මුල්වරට අග්‍රාමාත්‍යධූරය දැරූ අවස්ථාවේ සිට 2020 මහමැතිවරණය දක්වා අග්‍රාමාත්‍යධූරය නොදරන සෑම අවස්ථාවකම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කර ඇත.

අග්‍රාමාත්‍යධූරය දැරූ ආකාරය

  • 1993 මැයි 7 දින සිට 1994 අගෝස්තු 19 දින දක්වා
  • 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වා
  • 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වා
  • 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වා
  • 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වා
  • 2022 මැයි 13 සිට 2022 ජූලි 13 දක්වා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජූලි 20 දින සිට මෙරට 9 වැනි ජනාධිපතිවරයා ලෙසත් 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසත් ඉතිහාසයේ අඩුම ඡන්ද ගණනකින් ජනාධිපතිධූරය ලබාගත් පුද්ගලයා ලෙසත්, පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීධූරයක් පමණක් ඇති ජනාධිපතිවරයෙකු ලෙසත් ඉතිහාසයට එක් වෙයි.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගරු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය ඉදිරියේ ජූලි 21 දින පාර්ලිමේන්තුවේ දී දිවුරුම්දීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top