News

ගාලුමුවදොරට ආරක්ෂක අංශවලින් ප්‍රහාරයක් – අරගලකරුවන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කළා – පොලිසිය

පොලිසිය, හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකරන ලද මෙහෙයුමකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳීසිටි සාමකාමී අරගලකරුවන් පලවා හැර තිබෙනවා.

ජූලි 22 දින අලුයම් කාලයේ දී අදාළ මෙහෙයුම දියත් කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් 22 දින පස්වරුවේ ඉවත්වීමට අරගලකරුවන් තීරණය කර ඒ බව මාධ්‍ය මගින් නිවේදනය කර තිබෙන පසුබිමකයි.

පොලීසිය පවසන්නේ අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය මේ වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශවල පාලනයට ගෙන ඇති බවයි. එසේම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට තිබූ සියලුම අට්ටාල සහ කුඩාරම් ඉවත් කර තිබෙන අතර වෙන් කර ඇති විරෝධතා භූමිය තුළ ඇති කුඩාරම් පමණක් මේ වනවිට දැකගත හැකියි.

කෙසේ වෙතත්, අරගලකරුවන් පවසන්නේ සාමකාමී අරගලකරුවන්ට හිටි හැටියේම අමානුෂික හා මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරමින් පොලු මුගුරුවලින් පහර දී එලවා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවයි. එම අමානුෂික ප්‍රහාරය මධ්‍යයේ එහි සිටි මානව හිමිකම් නීතිඥවරයෙකු වන නුවන් බෝපගේ පැහැර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව අරගලකරුවන් පවසා සිටියා. කෙසේ වෙතත් පසුව පොලීසියෙන් පවසා ඇත්තේ අදාළ නීතිඥවරයා අත්අඩංගුවට ගෙන මරදාන පොලිස්ථානය වෙත ගෙන ගොස් ඇති බවයි. සිද්ධිය අතරතුර එම ස්ථානයට පැමිණි නීතිඥ චාමර ජයසිංහ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිඥවරුන් සඳහන් කළේ ඔහුට පහරදීමක් ද සිදුව ඇති බවයි. මීට අමතර ළහිරු වීරසේකරට ද පහර දීමක් සිදුව ඇති බවට එහි සිටි ඇතැමුන් චෝදනා කර තිබෙනවා.

අරගලකරුවන් සඳහන් කළේ සිද්ධිය වීඩියෝගත කළ සියලු දෙනාට පහරදුන් බවයි. එහිදී බීබීසී දමිළ සේවයේ මාධ්‍යවේදියාට ද පහර දීමක් සිදුව ඇති බව ඔවුන් පවසනවා. මේ වනවිට වාර්තා වී ඇති පරිදි මාධ්‍යවේදීන් සිව්දෙනෙකු පහර කෑමට ලක්ව තිබෙන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම මාධ්‍යවේදීන් දෙදෙනකු පැහැරගෙන ගොස් පහර දී මහමග දමා ගොස් ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

අරගලකරුවන් පවසන්නේ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට දහස් ගණනක් වූ හමුදා සෙබළුන් අලුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී ප්‍රචණ්ඩව හැසිරුණු බවයි.

සිද්ධියෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එසේම 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මේ අතර සිද්ධිය සිදුවන අතරතුර එම ස්ථානයට ගමන් කිරීමට උත්සාහ ගත් මාධ්‍යවේදීන්, නීතිඥවරුන් ඇතුළු කිසිවෙකුට ඊට අවස්ථාවක් නොලැබුණු බව වාර්තා වේ.

මේ අතර ඊයේ රාත්‍රියේම සටහනක් තබමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කර තිබුණේ “අනවශ්‍ය ලෙස තිරිසන් බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට රුකුලක් නොවනු ඇත.” ලෙසයි. එසේම නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහර දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි.

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිප දෙනෙකුම බලධාරින් විසින් වළකා ඇත. තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත දන්වා ඇත. නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වේ.

අවම වශයෙන් එක් නීතීඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත තොරතුරු ලැබී ඇත. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.

නීතියේ ආධිපත්‍යයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ඔහුගේ රජයෙන් ඉල්ලා සිටී. නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදීම සිවිල් විරෝධතා මැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම අපේ රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී. මෙම ක්‍රියාවන්ට නියෝග දුන් අය ඇතුළුව සම්බන්ධ වූ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීම ගතයුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.”

මේ අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය යෙදවීම ගැන දැඩි සැලකිල්ලක් දක්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් පවසනවා. ඇය වැඩි දුරටත් කියා සිටින්නේ “මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබිය යුතු බැවින් එයට බාධා එල්ල නොකළ යුතු” බවයි.

බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

Rivira FB Group Rivira Youtube
To Top