දේශීය පුවත්

වැටුප් එලෙසමයි, බඩු මිල 3න් 4 ගුණයකින් ඉහළට, එක වේලත් අවදානමේ

රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩ කරන ජනතාවගේ වැටුප් හා දීමනා එලෙසින්ම තිබිය දී මේ වනවිට මෙරට තුළ සියලු භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය තුළ 3න් වේලත් දැඩි අපහසුතා මධ්‍යයේ කළමණාකරණය කරගත් පිරිස් 3න් වේල අතහැර දවසක් ආහාර වේල් 2කින් හෝ 1කින් පිරිමසා ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙනවා. නමුත් මේ වනවිට ඇති වී තිබෙන තත්වය තුළ දින 5ම සේවයට කැඳවීමට රජය උත්සාහ කිරීම සහ විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට තීරණය කර තිබීම හේතුවෙන් තම මූලික අවශ්‍යතා පවා ඉටු කර ගැනීමට නොහැකි වනු ඇති බවට ජනතාව මැසිවිලි නගනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිසිවක් අවශ්‍ය අවධානය යොමු කොට නැති බවත්, ඔවුන් සිය පුද්ගලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩු ගොඩනගමින් තම තමන්ගේ පුද්ගලික අභිවෘද්ධිය උදෙසා කටයුතු කරමින් සිටින බවට ජනතාව චෝදනා කර සිටිනවා.

රිවිර.lk මහජන අදහස් විමසා දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ප්‍රධාන නගර තුළ සිදුකළ සමීක්ෂණයක දී මෙම අදහස් පළ වූ අතර බොහෝ පිරිසක් පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 75,000ක වැටුපක් ලබන පුද්ගලයෙකුට එම වැටුපෙන් 3න් වේල සම්පූර්ණ කරගෙන සිව් දෙනෙකුගෙන් යුත් සිය පවුලේ මූලික අවශ්‍යතා ඉටු කිරීමටවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. ඒ පැවති ජීවන තත්වය අතිශයින් පහළ මට්ටමකට ගෙන ඒමෙන් පසුව බව ද ඔවුන් පෙන්වා දෙනවා.

උදාහරණයක් වශයෙන් මෙම සමීක්ෂණයට සහභාගී වූ පෞද්ගලික ආයතනයක සේවය කරන කළමණාකරුවෙකු සඳහන් කළේ මෙම අධි උද්ධමන තත්වය ඇති වීමට පෙර, දිනපතා සිය මෝටර් රථයෙන් රාජකාරි සඳහා ගිය තමා මේ වනවිට සම්පූර්ණයෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු වී ඇති අතර ඉන්ධන සඳහා වැය කළ මුදල සම්පූර්ණයෙන්ම කපා හැර තිබෙන බවයි. එසේම මීට පෙර කීරි සම්බා සහල් පරිබෝජනය කළ ද මේ වනවිට රතු කැකුළු වැනි මිල අඩු සහල් වර්ගයකට මාරු වී ඇති බවයි. එහෙත් ඊට ගෙවන මිල මීට පෙර කීරි සම්බා වෙනුවෙන් වැය කළ මිල ද අභිබවා ඇති බව ඔහු පෙන්වා දෙනවා. එසේම මීට පෙර මාසයකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වඩාත් ප්‍රිය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් ඔහු රුපියල් 30,000ක් වැය කර තිබූ අතර මේ වනවිට ඊට වඩා අවම තත්වයේ භාණ්ඩ අවම ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීමට රුපියල් 45,000ක් පමණක් වැය වන බව ඔහු සඳහන් කළා. එසේම, සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලික උපකාර පන්ති වෙනුවෙන් වැය වූ මුදල මීට පෙර මාසයකට රුපියල් 3000ක් පමණ වුවත් මේ වනවිට එම මුදල් රුපියල් 6000ක් වී ඇති බව ඔහු පවසනවා. එසේම, දරුවෙකු පාසල් යැවීමට සහ උපකාරක පන්ති යැවීම වෙනුවෙන් මසකට මීට පෙර දැරූ රුපියල් 10,000ක මුදල මේ වනවිට රුපියල් 20,000කට ආසන්න වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව දරුවන් දෙදෙනා වෙනුවෙන් රුපියල් 40,000කට ආසන්න මුදලක් මාසයකට වැය වන බව ඔහු පවසනවා. ඊට අමතරව විදුලිය සහ ජලය වෙනුවෙන් මාසික බිල්පත් මීට පෙර රුපියල් 6,000ක පැවති අතර ගෑස් හිඟය හේතුවෙන් විදුලිය මගින් ආහාර පිසීම හේතුවෙන් විදුලි බිල්පත රුපියල් 8000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළා. ඒ අතර දුරකතන බිල මෙතෙක් සඳහා මෙතෙක් රුපියල් 4000ක්ව පැවති ගාස්තු මේ වනවිට රුපියල් 5000ක් දක්වා ඉහළගොස් ඇති බව ඔහු පවසනවා. ඒ අනුව සමස්ථයක් ලෙස සිය වියදම ඔහු අප වෙත පෙන්වා දුන්නේ මෙලෙසයි.

  • 2019 වසර වනවිට සාමාන්‍ය ජීවන තත්වය
  • ආහාර ද්‍රව්‍ය – 30,000
  • දරුවන්ගේ අධ්‍යාපනය – 20,000
  • විදුලිය හා ජලය – 6,000
  • ඉන්ධන හා ගෑස් – 10,000
  • දුරකතන – 4,000
  • මාසය සඳහා වියදම රුපියල් 70,000
  • 2022 ජූලි මාසය වනවිට අවම ජීවන තත්වය
  • ආහාර ද්‍රව්‍ය – 45,000
  • දරුවන්ගේ අධ්‍යාපනය – 40,000
  • විදුලිය හා ජලය – 8,000
  • ඉන්ධන හා ගෑස් – 0
  • දුරකතන – 5,000
  • මාසය සඳහා වියදම – රුපියල් 98,000

මේ අනුව, මේ කාලය ගෙවෙන්නේ සම්පූර්ණයෙන්ම තැන්පත් ධනය වියදම් කිරීමෙන් බවත්, එම තැන්පත් ධනය සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා. එවන් තත්වයක දී හදිසි අසනීප තත්වයක් ඇති වුවත් ඒ වෙනුවෙන් මුදල් නොලැබෙන බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ මීට වඩා අවම වැටුප් ලබන පුද්ගලයින් ප්‍රමාණය අතිශයින් ඉහළ බවත් ඔවුන් සිය වියදම් තවදුරටත් කපා හැරීම මිස පාලනය කිරීමට නොහැකි වනු ඇති බවයි. එහිදී සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැයවන මුදල් වැය කිරීම බොහෝ පිරිසකට අපහසු වී ඇති බව ඔහු පවසනවා. බොහෝ අවස්ථාවල අන්තර්ජාල සේවා අත්‍යවශ්‍ය වී ඇති බැවින් දුරකතන ගාස්තු සඳහා වැය කෙරෙන මුදල් කපා හැරීමට නොහැකි බවත්, තමන් ජීවත් වන ප්‍රදේශයට ජංගම දුරකතන සේවාවලින් යහපත් සේවයක් නොලැබෙන බැවින් රැහැන් සහිත ස්ථාවර දුරකතන සේවා ලබා ගැනීමට සිදුව තිබීම තුළින් දුරකතන සේවා සඳහා වැය කරනු ලබන මුදල කපා හැරීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසනවා.

ඉහත උදාහරණය උපුටා දැක්වූයේ සාමාන්‍යයෙන් ඉහළ වැටුපක් ලබන යහපත් ජීවන තත්වයක් ගත කළ ණය හා කුලී ගාස්තු නොගෙවන විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුද්ගලයෙකුට මේ වනවිට අත්ව ඇති ඉරණම පෙන්වා දීමටයි. මෙම තත්වය පහළ ආදායමක් ලබන පවුල් වෙත දැනෙන ආකාරය මීට වඩා භයානය වී ඇති අතර සිය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම ද ඔවුන්ට දැඩි අභියෝගයක් වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top