දේශපාලන

පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක්

පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ඔක්තෝම්බර් 09 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.

යහපාලන සමයේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයට සිදුකළ සංශෝධනය හේතුවෙන් මෙලෙස අධික සභිකයින් ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වෙත පත් වීම සිදු වූ අතර එය දැරිය නොහැකි සභිකයින් ප්‍රමාණයක් බවට ජනතාව දිගින් දිගටම චෝදනා කර සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top