Health

මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

මංකිපොක්ස් රෝගය ආසාදිතයෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ දී ද හඳුනාගෙන තිබේ. ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අදාල පුද්ගලයා තමන්ට ඇති වූ රෝගී තත්වය මත නොවැම්බර් 02 දින රෝහල්ගත වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණවල දී මංකිපොක්ස් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ. ඒ අනුව ඔහුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කරන ලද බව නොවැම්බර් 04 දින සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත් වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට තවත් මංකිපොක්ස් ආසාදිත රෝගීන් පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඒ වඳුරු උණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට සූම් මෘදුකාංගය මගින් එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා සඳහන් කළේ රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා විදෙස් රටවල සිට මෙරටට පැමිණීමේ හැකියාව පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා, “දැනට අපිට වාර්තා වුණ රෝගියා ප්‍රතිකාර සඳහා යොමුවෙලා තියෙනවා. අපි නිවැරදි ලෙස කළමනාකරණය කරලා ඔහුව ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට යොමුකරලා තියෙනවා. නමුත් මේ වගේ තවත් රෝගීන් පැමිණීමේ අවධානමක් තියෙනවා. ලෝකයේ අනෙක් රටවල රෝගය තවම පවතින නිසා, යම් අවස්ථාවක තව රෝගීන් පැතිරෙන්න පුළුවන්. සමහර වෙලාවට රෝග ලක්ෂණ නැති රෝගීන් පවා ලංකාවට එන්න පුළුවන්. දැන් ඔහු ප්‍රතිකාර සඳහා යොමුවුණේ රෝග ලක්ෂණ ආපු නිසා. සමහර අය එන්න පුළුවන් රෝග ලක්ෂණ නෑ. ඉතින් අපේ සෞඛ්‍ය පිළිබඳ නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය ඒකකයන් සියලුදෙනාම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම ඉතාමත් අත්‍යාවශ්‍යයි. මොකද ලෝකයේ රෝගය අඩුවුණාට අපේ රටෙන් තව අවුට්බ්රේක් එකකින් තව රෝගීන් වැඩිවීමක් කුමන වේලාවක දී හෝ සිදුවෙන්න පුළුවන්. පුංචි දරුවන් අතර පවා මංකිපොක්ස් රෝගය පැතිර යෑමේ අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක 0.3%ක් වගේ තමා මේ වාර්තා වුණ රෝගීන්ගෙන් අවුරුදු 4ට අඩු දරුවන් වාර්තාවෙලා තියෙන්නේ. දරුවන්ට මේ රෝගය හැදීම සිදුවන්නේ ගෙදර අයට හැදුනොත් තමා. ඔබ ආරක්ෂා වෙලා ඉන්නවා නම් දරුවන්ට මේක බෝවීමේ අවධානමක් නෑ.”

කෙසේ වෙතත් රෝගයට එරෙහිව මහජනතාව එන්නත් කිරීමේ අවශ්‍යතාවයක් මෙතෙක් පැන නැගී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

මේ වනවිට රුසියාව ඇතුළු රටවල් රැසකින් යළිත් සංචාරකයින් මෙරටට පැමිණීම ආරම්භ වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top