දේශීය පුවත්

පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි

පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී තමන් ඇතුළු සමගි වනිතා බලවේගයේ හි කාන්තාවන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත (SLHRC) පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

සමගි වනිතා බලවේගය නම් සංවිධානයේ ජාතික සංවිධායකවරිය ලෙස තමන් අදාළ විරෝධතාවයට සහභාගී වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමන් සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණු බව තම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව ඇය පැවසුවාය.

“සාමාන්‍යයෙන් මෙවැනි විරෝධතා වලදී යම්කිසි තල්ලුවක්, තෙරපීමක් සිදුවෙනවා, ගැහැණියක්ද පිරිමියෙක්ද කියලා වෙනසක් නැහැ, ඔවුන් අහම්බෙන් හෝ නොදැනුවත්ව එකිනෙකා ස්පර්ශ කරනවා, එවැනි අවස්ථාවලදී අපට අපේම ස්වයං පාලනයක් තිබෙනවා, නමුත් පොලිස් නිලධාරීන් වෙනත් විදිහකට හැසිරුණා,” ඇය චෝදනා කළාය.

එම පොලිස් නිලධාරීන්ගේ නම් සහ අංක මෙන්ම වීඩියෝ දර්ශන තමන් සතුව තිබෙන බවද හිරුණි ප්‍රේමචන්ද්‍ර කියා සිටියා.

කෙසේ වෙතත් අදාළ විරෝධතාවය අතරතුර සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ දර්ශනවල දැක්වෙන්නේ, හිරුණිකා ඇතැම් පොලිස් නිලධාරීන් පසුපස ආක්‍රමණශීලී ලෙස ලුහුබැඳ ගොස් බැනවදින ආකාරය සහ පොලිස් නිලධාරීන් ඇයගෙන් ඉවතට යන ආකාරයයි.

මීට පෙර පැවති විරෝධතා කිහිපයක් අතරතුර දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් වැළඳ ගැනීම් සිදුකර තිබූ අතර එම සිදුවීම් ද සමාජ ජාලා තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබූණා.

Rivira FB Group Rivira Youtube
To Top