2023 පළාත් පාලන මැතිවරණය

ජාතික ජනබලවේගය කොළඹ වටලයි, කෙක්කෙන් හෝ කොක්කෙන් මේ සටන ජයගන්නා බවට අනුරගෙන් සහතිකයක්

ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය පෙබරවාරි 26 ඉරිදා පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය. ඒ එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුල් වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් ලබාගෙන තිබූ පසුබිමකයි.

කෙසේ වුවත් පස්වරු 3ට කොළඹ නෙළුම් පොකුණ අසලින් ලිප්ටන් වටරවුම හරහා කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කළ විරෝධතාවය සලාකා බිල්ඩිම අසලදී පොලීසිය විසින් නතර කිරීමට කටයුතු කෙරිණි. එහිදී අනුර කුමාර දිසානායක සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ඇතිවීමෙන් අනතුරුව කඳුළු හා ජල ප්‍රහාරයන් රැසක් එල්ල කිරීමට පොලිසිය පියවරගත් අතර නැවතත් විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුම දක්වා පසු බැසීමට කටයුතු කෙරුණි. එහිදී විරෝධතා රැලිය පැවැත්වීමට ජාතික ජනබලවේගයේ නායකයින් පියවර ගත්හ.

රැස්ව සිටි විශාල විරෝධතාකරුවන් පිරිස අමතමින් අනුර කුමාර දිසානායක පවසා සිටියේ 75 වසරක් ඉවසා සිටි තමන්ට තවත් සතියක් හෝ මාසයක් ඉවසා සිටීමේ හැකියාව ඇති බවයි. එසේම මේ වනවිට පොලීසියේ හා හමුදාවේ සහය ද ජාතික ජනබලවේගයට ලැබෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුවේ මෙම මර්දනය හමුවේ කෙක්කෙන් හෝ කොක්කෙන් මෙම සටන ජයගන්නා බවට ද අනුර කුමාර දිසානායක රැස්ව සිටි පිරිසට සහතිකයක් ලබා දුන්නේය.

එරංග ගුණසේකර, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, හර්ෂණ නානායක්කාර හා ටිල්වින් සිල්වා යන පිරිස ද රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා අදහස් දැක්වීය.

Rivira FB Group Rivira Youtube
To Top