මීට වසර දෙකකට පෙර MV X Press Pearl නෞකාව ගිනිගෙන ශ්‍රී ලංකා වෙරළ තීරයේ ගිලී ගිය අවස්ථාවේ රටට සිදු වූ ව්‍යසනය පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දී විවාදයට ලක්විය. නමුත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම මේ වනවිට අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඒ පිළිබඳ විවාදයක් පැවැත්විය නොහැකි බවයි.
කෙසේ වෙතත් පසු කතානායකවරයා විසින් පැවැත්වූ පක්ෂ නායක හමුවක දී තීරණය කර තිබුණේ නඩුවට බලපෑමක් වන කරුණු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා නොකිරීමටයි. මේ අනුව විවිධ පාර්ශව විසින් මීට අදාළ වන්දි නඩුව සිංගප්පූරුවේ පැවරීම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත. එහිදී විපක්ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම රටේ පරිසර සංවිධාන බහුතරයක් මෙම නඩුව ශ්‍රී ලංකාව තුළ පැවරීම සිදුවිය යුතු බවත් සිංගප්පූරුවේ පැවරීම ප්‍රශ්නගත බවත් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු විවාදයට පසුගිය මැයි 10 දින එක් වූ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මෙකී විවාදය වෙනත් පසෙකට ඇද දමමින් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ද ජාත්‍යන්තර සහය පැතීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නට කටයුතු කළේය.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රී රාසමානික්කම් පවසා සිටියේ උතුරේ ජනතාවට යුක්තිය ඉටු කිරීමට ජාත්‍යන්තර සහය පැතිය යුතු බව පවසන විට රජය එක් ස්ථාවරයක් ගැනීමත් නැවේ වන්දිය ලබා ගැනීමට සිංගප්පූරුවේ නඩු පැවරීමට තීරණයක් කරමින් තවත් ස්ථාවරයක් ගැනීමත් ප්‍රශ්නසහගත බවයි. මේවා ප්‍රශ්න කිරීමේ දී තමන්ට ජාතිවාදී/ත්‍රස්තවාදී ලේබල් ඇලවීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.
මේ අතර මැයි 11 වන දින විවාදය එක් වෙමින් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ද යළිත් මන්ත්‍රී රාසමානික්කම් මතු කළ ප්‍රශ්නය මතු කරමින් පවසා සිටියේ තමන් ද නීති වෘත්තිකයෙකු ලෙස යම් ගැටළුවක් සඳහා සහන ලබා ගැනීමට යා හැකි ස්ථාන එකකට වඩා ඇති විට යා යුතු ස්ථානය තෝරා ගැනීමට අයිතියක් ඇති බවත් ඊට විවිධ හේතු තිබිය හැකි බවත්, ඒ හේතු සියල්ල හෙළිදරව් කළ නොහැකි විය හැකි බවත් යන කරුණු සමග තමන් එකඟවන බවයි.
“සිංගප්පූරුවේ උසාවියට යන්න හොඳ හෝ නරක හේතුවක් නිසා තීරණය කර තිබුණා. සිංගප්පූරුවේ උසාවිය වඩා අපක්ෂපාතී සහ වඩා වෘත්තීමය වන බැවින් මම ඒ ගැන සතුටු වෙමි. නමුත් පැන නගින ප්‍රශ්නය වන්නේ මෙවැනි කාරණයකදී රාසමානික්කම් ඊයේ මතු කළ අතර මම අද යළිත් මතු කරමි. මෙවැනි වාණිජ හානි ප්‍රශ්නයක දී ඔබට විදේශීය අධිකරණයකට යෑමේ ගැටලුවක් නැත. නමුත් වසර 14කට පසුවත් අසාධාරණයට ලක්වූවන් තවමත් යුක්තිය අපේක්ෂාවෙන් සිටින අතර දේශීය ක්‍රියාවලිය ගැන විශ්වාසයක් නොමැතිව ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටියද ඔබ එය තරයේ ප්‍රතික්ෂේප කිරීම ඉතා බරපතළ කාරණයකි. කුමන හේතුවක් නිසාද?” යනුවෙන් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ද ප්‍රශ්න කර සිටියා.
වැඩිදුරටත් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා වෙත සඳහන් කර සිටියේ “ඔබ TRCය පිහිටුවීම සඳහා පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. – සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක්. ඕනෑම TRC ක්‍රියාවලියක් වින්දිතයින් කේන්ද්‍ර කරගත යුතුය. වින්දිතයින් එම ක්‍රියාවලියෙන් සෑහීමකට පත් නොවනතාක් එවැනි ක්‍රියාවලියක් සාර්ථක විය නොහැකියි. මෙතැනදී වින්දිතයන් පවසන්නේ ගැටුමක දෙපැත්තක් තිබුණා කියලා ඒ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට ඒ ගැටුම සම්බන්ධයෙන් තීරණය කරන්න බැහැ එක පැත්තකට නඩු කටයුතු පාලනය කරන්න බැහැ කියලා. ඒක ස්වාධීන නොවන බව. එය ස්වාධීන වීමට නම් එය අපක්ෂපාතී විය යුතු අතර එය අපක්ෂපාතී වීමට නම් එය අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මැදිහත් විය යුතුය. ඒ නිසා මම නැවතත් මේ ප්‍රශ්නය මතු කරනවා.” යනුවෙනි.
නමුත් මෙහිදී අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ නඩුකරය වානිජ ස්වාභාවයෙන් වන්දි නඩුවක් වන අතර එය වෙනත් රටක නැව් සමාගමකට එරෙහිව පවරන නඩුකරයකි. එහිදී සිංගප්පූරුව තෝරා ගැනීම සඳහා ඊට සහය දක්වන පිරිස් පවසන කරුණු අතර සිංගප්පූරු අධිකරණ ස්වාධීන වීම වැනි කරුණු ඇතුළත් නොවේ. ඔවුන් පවසන්නේ සමූද්‍ර නීතිය ඇතුළු නීති සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නීති පද්ධතිය ශක්තිමත් සහ වැඩි වන්දි මුදලක් ලබා ගත හැකි නීති පද්ධතියක් පවතින එසේම නැව් සමාගම නඩුකරය සඳහා ගෙන්වා ගැනීම පහසු කරන බැවින් සිංගප්පූරුවේ නඩු පැවරීම වඩාත් සාර්ථක බවයි.
එහෙත් උතුරේ ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කරන අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කිරීම, යුද අපරාධ වැනි චෝදනා වේ. ශ්‍රී ලංකාව බෙදා වෙනම රටක් ඉල්ලා ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ඉල්ලා ත්‍රස්තවාදය දියත් කර තිබූ සමයක සිදු වූ බව කියන සිදුවීම්වලට අදාළව ශ්‍රී ලංකා රජයට සහ එහි නිල හමුදාවන්ට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලීම විශේෂ අවධානයකට ලක් කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තුළ සුළු ජාතීන්ට ආරක්ෂාවක් නොමැති බව පවසා වෙනම රටක් ලබා ගැනීමට ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීම මෙහි අවසන් ඉලක්කය බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි. එසේම ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් හමුදාවෙන් පලි ගැනීමට ද මෙම කණ්ඩායම් මෙයින් උත්සාහ කරමින් සිටින බව ද එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි. යුද සමයේ දී අතුරුදහන් වී ඇත්තේ දෙමළ ජාතිකයින් පමණක් නොවන අතර සිංහල හා මුස්ලිම් ජාතිකයින් ද අතුරුදහන් වූවන් අතර සිටී. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිටත් මෙරට අධිකරණ පද්ධතිය ඔස්සේ නඩු පවරා ඇති අතර වැරදිකරුවන්ට දඩුවම් ලැබීම් ද සිදුව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
එබැවින් සෑම සිදුවීමකින්ම ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් ප්‍රශ්න මතු කරමින් හුදු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක කිරීමත්, ත්‍රස්තවාදය අවසන් කර රටේ සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුද ජයගහ්‍රණය සැමරෙන දිනය ලංවන විට විවිධාකාරයේ ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීම උතුරේ දේශපාලනඥයින් විසින් සිදුකරමින් සිටින බව වසර 14ක් තිස්සේ පෙනී යන බව ද දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. සෑම වසරකට මැයි 18 දිනය ලංවන විට ළමුන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සහ උතුරේ පවතින්නේ අනාරක්ෂිත තත්වයක් බව පෙන්වීමට ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන තත්වයක් ඇති බව ද පසුගිය වසර කිහිපය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ යැයි ද එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ වනවිටද ළමුන් පැහැරගැනීමේ උත්සාහයක් පවතින බවට පැමිණිලි ලැබී තිබුණත් සීසීටීවී දර්ශන සහ වෙනත් සාක්ෂි පිළිබඳ විමර්ශනය කිරීමේ දී එවැන්නක් සිදුව ඇති බවට කිසිඳු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව මැයි 11 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින රටකි. දැන් සියලු දෙනා එක්වී කටයුතු කළ යුත්තේ රට ගොඩනැගීමට මිස රට බෙදා වෙන් කිරීමේ උත්සාහයන් විවිධාකාරයෙන් දියත් කිරීමට නොවේ. එය සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු පුරවැසියන් තේරුම් ගෙන සිටී. නමුත් අවාසනාවන්ත ලෙස බල අරගලයක යෙදී සිටින ජාතිවාදී දේශපාලනඥයින් සිංහල සහ දෙමළ ජනතාව සංහිඳියාවෙන් ජීවත් වීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටීම කණගාටුවට කරුණක් වන අතර එවැනි උත්සාහයන් පරාජය කිරීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකමයි.
– විශේෂ වාර්තාකරුවෙකු විසින්

