Updated
ගම්පොල වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක් අතුරුදහන්ව ඇති බවට ගම්පොල පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති කරුණු අනුව අදාළ තරුණිය ඝාතනය වී ඇති බව පොලිසිය පවසනවා. අදාළ තරුණියගේ මෘත දේහය වල දමා ඇති ස්ථානය ද මේ වනවිට සොයාගෙන ඇති අතර ඇය අතුරුදහන් වූ ස්ථානය අසන්නේ කැලෑ ප්‍රදේශයක වල දමා තිබෙනවා.
ඒ සිදුවීමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙලෙස අතුරුදන්වී තිබුණේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් වන අතර ඇය මැයි 07 දින පෙරවරුවේ සිය සේවා ස්ථානය වෙත යාම සඳහා නිවසින් පිටව තිබෙනවා.
පසුව ඇය නැවත නිවසට නොපැමිණීම මත පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ නිවසේ සිට මීටර් 100ක පමණ දුරින් ඇති සීසීටීවී දර්ශනවලින් එම තරුණිය මාර්ගයේ ගමන් ගන්නා අයුරු නිරීක්ෂණ වී ඇති අතර ඉන් මීටර් 50කින් පමණ පසු ඇති කැමරා දර්ශනවල ඇය නොමැති බව ද නිරීක්ෂණය වීම හේතුවෙන් ඒ අතර ප්‍රදේශයේ දී ඇය අතුරුදහන්ව ඇති බවට සැකයක් මතු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ “සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව. ඒ අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා. එහිදී එම තරුණියව ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා තිබෙනවා. නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ.”
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 24ක එම තරුණිය ද හඳුනනා ප්‍රදේශයේම තරුණයෙක් බව ද පොලිසිය පවසනවා.
ගම්පොල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

