දේශීය පුවත්

සුරාබදු ආදායම් මදි, මත්පැන් මිල පහල දමා අලෙවිය වැඩි කිරීමට රජයෙන් සැළසුම්

මෙරට ආර්ථික අර්බුදය හා උද්ධමනය හේතුවෙන් මත්පැන් සහ බීර මිල ගණන් ද පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයක දී ඉහළ දැමීමට කටයුතු කර තිබුණි. නමුත් බොහෝ පිරිස් පෙන්වා දී තිබුණේ අනෙක් භාණ්ඩ හා සේවා මිල ගණන් තුන් ගුණයත් 4 ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය ද මත්පැන් හා සිගරට් මිල එලෙස ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු නොකළ බවයි.

කෙසේ වෙතත් ඉහළ ගිය මිල ගණන් යටතේ ද මත්පැන් හා බීර අලෙවිය දැවැන්ත ලෙස පහළ ගොස් තිබූ අතර මත්පැන් පරිභෝජනය අඩු වී තිබෙන බව නිරීක්ෂණය විය. නමුත් මේ වනවිට මත්පැන් හා බීර මිල ගණන් අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

රජයේ සුරාබදු ආදායම අපේක්ෂා කළ මට්ටමට ළඟා වී නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී ඇතැයි ආරංචි මාර්ග පෙන්වා දෙයි. නමුත් මේ සඳහා හේතු ලෙස රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ මත්පැන් මිල ඉහළ ගොස් ඇති බැවින් ජනතාව නීති විරෝධී මත්පැන්වලට යොමු වීමේ අවදානමක් ඇති බවටයි.

මුදල් අමාත්‍යංශය මේ වනවිට මත්පැන් සඳහා නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ නිරීක්ෂණ ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇත. ඒ නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දී තිබීම හේතුවෙනි. මේ හරහා නිෂ්පාදකයින්ගේ ලාභය ද අතිශයින් ඉහළ යාම සිදුවේ. පිරිවැය අඩු කොට මිල ගණන් පහළ දැමීමෙන් අලෙවිය විශාල ලෙස ඉහළ ගියහොත් ඒකක පිරිවැය ද අවම වෙමින් උපරිම ලාභයක් මත්පැන් නිෂ්පාදකයින්ට හිමිවේ.

තත්වය කෙසේ වුවත් සුරාබදු ආදායම අපේක්ෂිත තත්වයෙන් පවත්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙකක කාලය තුළ අනිවාර්ය ලෙස මත්පැන් සහ බීර මිල අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
To Top