දේශීය පුවත්

සිමෙන්ති “මිල අඩු කිරීම” පාරිභෝගිකයින් අන්දන වෙළඳ උපක්‍රමයක්

රුපියල් 950ක්ව පැවති සිමෙන්ති කොට්ටයක මිල පසුගිය කාලය තුළ අඛණ්ඩ ලෙස ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබුණි. ඒ සමගමට නිවෙස් ඉදිකරන සාමාන්‍ය ජනතාවගේ සිට සමස්ථ ඉදිකිරීම් ක්ෂේත්‍රයම බරපතල ලෙස කඩා වැටීමට ලක් වී තිබුණි.

මේ වනවිට සමාගම් කිහිපයක් මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ සිමෙන්ති මිල අඩු කළ බවයි. දැනට රුපියල් 2,750ක්ව පවතින සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩු කොට රුපියල් 2,600කට අලෙවි කිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බවත්, එම මිල ගණන් යටතේ හෙට සිටම බෙදාහැරීම් කටයුතු සිදුකරන බවත් සිමෙන්ති සමාගම් මාධ්‍ය වෙත දන්වා තිබේ.

නමුත් සිමෙන්ති වෙළෙදුන් සහ පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ මෙය සිමෙන්ති සමාගම් විසින් සිමෙන්ති අලෙවිය ඉහළ නංවා ගැනීම සඳහා වෙළඳ උපක්‍රමයක් ලෙස සිදුකරන ලද බවත් මෙම මිල අඩු කිරීම කිසිලෙසකින් පාරිභෝගිකයින් වෙත දැනෙන මිල අඩු කිරීමක් නොව බවත් ය.

සිමෙන්ති ආනයනයට තිබූ දැඩි සීමා ඉවත් කිරීම ඇතුළු සහන රැසක් මේ වනවිට සමාගම් වෙත ලැබී ඇති බවත්, ඔවුන් අධික ලාභ ලබමින් සිටින බවත් මේ වනවිට ආර්ථික අර්බුදය හේතුවෙන් නැවතී ඇති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ජනතාව පෙළඹවීම සඳහා “සිමෙන්ති අඩු කරලා” යන මතය සමාජ ගත කිරීමට දරා ඇති උත්සාහයක් පමණක් බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ අලෙවිය පහළ යාමත් සමග මිල ගණන් ඊට සාපේක්ෂව අඩු විය යුතු බවයි. එහෙත් සිමෙන්ති, කිරිපිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ විකුණන සමාගම් සිදුකරන්නේ ජනතාව රවටන මිල අඩු කිරීම් පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
To Top