අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දින කිහිපය තුළ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිහිපයක් පැවැත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අදහස් පළ කර තිබෙනවා.
මැයි 14 දින කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා විමසා සිටින්නේ රටේ ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවනු ලබන්නේ වර්ගවාදී පදනම මතද යන්න යි. ඒ උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිංහල මන්ත්‍රීවරුන්ට ආරාධනා නොකිරීම හේතුවෙනි.
“පසුගිය සතිය පුරාවටම දෙමළ ජාතික සන්ධානය, විශේෂයෙන්ම සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉතාමත්ම වර්ගවාදී, පැසිස්ට්වාදී ආකාරයට අපේ රටේ දේශපාලනයට මැදිහත් වනවා. අපි නම් දකින්නේ මේක ත්‍රස්තවාදය පරාජය කරලා එක රටක, එක ජාතියක් ලෙස එකමුතුකම ගොඩනගා ගන්න තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ ක්‍රෝධයෙන් පෙලෙමින් මේ ජාතික සමගිය බිඳ දැමීම සඳහා කරන භයානක මැදිහත්වීමක් ලෙසයි. සුමන්තිරන් මන්ත්‍රීතුමා ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පසුගිය බදාදා ප්‍රකාශයක් කළා ජනාධිපතිතුමා බ්‍රහස්පතින්දා උතුරු පළාතේ මන්ත්‍රීවරුනුත්, සිකුරාදා නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන්වත් සාකච්ඡා සඳහා කැඳවලා තිබුණා, ඒ පළාත් වලට අදාලව ගැටලු සාකච්ඡා කරන්න. එහිදී දෙමළ ජාතික සන්ධානය ලෙස ජනාධිපතිතුමාට දැනුම් දුන්නා කියලා කියනවා උතුරු හා නැගෙනහිර මන්ත්‍රීවරු එකට කැඳවීමකින් තොරව ඔවුන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නෑ කියලා.”
” නමුත් මේ ගැන අපි සොයා බැලුවම අපිට දැනගන්න ලැබුනේ නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්ව සිටිනවා කපිල අතුකෝරල කියලා. එතුමා තමයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති. එතුමා කිව්වා අපි ඇහුවම ඔහුට එවැනි කැඳවීමක් සිදු කරලා නෑ කියලා. ඒ වගේම නැගෙනහිර පළාතේ විමලවීර දිසානායක මන්ත්‍රීතුමා. එතුමා එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට දන්නේ නැති බව අපි කළ විමසීමේදී ප්‍රකාශය කළා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අහන්න කැමතියි මේ සාකච්ඡා සඳහා කැඳවීම් ලැබෙන්නෙත් වර්ගවාදී පදනම මතද කියලා.”
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ පැවති සාකච්ඡාවල දී උතුරු නැගෙනහිර සඳහා බලය බෙදීම, ඉඩම් ගැටළු ආදිය පිළිබඳ සාකච්ඡා කර තිබූ අතර දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසා සිටියේ බලය බෙදීම, ඉඩම් ගැටළු සහ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ තවත් සාකච්ඡාවක් මැයි 15 දින පස්වරු 05.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි.
එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය වෙත පවසා සිටියේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.

