ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යා යුතු බවට එම පක්ෂයේ ප්‍රබලයින් හඬ නගමින් සිටින බවට ඇතැම් මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ වාර්තා කර තිබුණා. එම වාර්තා වලින් පෙන්වා දී ඇත්තේ තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බැවින් එම ප්‍රතිපත්තිවලට සහයෝගය දීමෙන් වැළකී තමන් විපක්ෂයේ කාර්යභාර්ය භාරගත යුතු බවට පක්ෂ නායකයින් වෙත පොහොට්ටුවේ ප්‍රබලයින් දැනුම් දී ඇති බවයි. මෙම යෝජනාවත් සමග පොහොට්ටුව තුළ කඳවුරු නිර්මාණය වෙමින් පවතින බවට ද එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු ප්‍රබලයින් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමක් ඇති බවටයි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ එවැනි කිසිඳු සූදානමක් නොමැති බවත්, ඒවා පැල කරන ලද පුවත් බවත් ය. තම කණ්ඩායම විසින් ජනාධිපතිවරයෙකු පත්කරගෙන සිටින බවත්, ඔහුගේ ප්‍රධානත්වයෙන් රටේ ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියක තම කණ්ඩායම නිරතව සිටින බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා. එසේම තම කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ හැකිතාක් සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක් කරගෙන මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යන ලෙස දන්වා ඇති බවයි.
කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග විපක්ෂයට ගොස් විපක්ෂ නායකධූරයට නාමල් රාජපක්ෂ පත්වී කටයුුතු කළ යුතු බවට පක්ෂය තුළින් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවට ඇතැම් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ තම පක්ෂය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර දේශපාලන විශ්ලේෂකයෙකු රිවිර.lk වෙත අදහස් පළ කරමින් කියා සිටියේ නාමල් රාජපක්ෂ විපක්ෂයට යාමේ අදහසක් ඇත්නම් එය දේශපාලනික වශයෙන් පුද්ගලිකව ඔහුට වැදගත් තීරණයක් වනු ඇති බවයි. ඒ හරහා ජනතාව අතරට යළිත් ප්‍රවේශවීමටත්, ජනප්‍රිය දේශපාලනයක යෙදීමටත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එයින් අවස්ථාව ලැබෙන බව ඔවුන්ගේ අදහසයි.
– දේශපාලන වාර්තාකරු

