දේශීය පුවත්

“දේශපාලකයින් රාජ්‍ය බැංකුවලින් ගෙන ඇති දැවැන්ත ණය කපා හැරීමේ සූදානමක්” ගැන අනාවරණයක්

රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන දැවැන්ත ව්‍යාපාරවල ආයෝජනය කර ඇති දේශපාලනඥයින්ගේ ණය කපා හැරීමට උත්සාහයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව මේ වනවිට ස්වාධීන වී සිටින මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් පවසනවා.

මැයි 16 දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා මෙලෙස රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

“ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තවමත් ව්‍යාපාර කටයුතු කරනවා. හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ ඇතැම් දේශපාලඥයෙක්. ඒත් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ. හැබැයි හෝටලය තියෙනවා. ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා වෙන ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා.”

“ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා හරින්න සමහරු උත්සාහ කරනවා. ඒක වැරදි. ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක්, හැබැයි මේ මෙතෙක් කල් නොගෙවන බරපතල ණය තොගයක් තියෙනවා. මේවා සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු වෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් පිරිසකගේ නම් සඳහන් කරමින් මහජන බැංකුව විසින් ලබා දී ඇති රුපියල් කෝටි 5,400ක ණය, බොල් ණය ලෙස කපා හැරීමට තීරණය කර ඇති බවට ප්‍රචාරය වීම සම්බන්ධයෙන් මහජන බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැයි 15 දිනැතිව නිකුත් කර ඇති එම නිවේදනයේ වටිනාකම් හෝ නිශ්චිත තොරතුරු කිසිවක් අඩංගු නොවන අතර එහි සඳහන් වන්නේ “මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ණය කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍යන්හි පැතිර ගිය කතාබහ සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය අවධාරණය කර සිටි” බවයි.

“මේ අනුව එසේ සාකච්ඡාවට බඳුන් වූ කිසිදු ණය පහසුකමක් ණය කපා හැරීමක් සිදුකර නැත.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Rivira FB Group Rivira Youtube
To Top