දේශීය පුවත්

ඌබට් හෝ ප්‍රොපට් ජෙරම් එක්ක මොකද උනේ? හිටපු ජනපති මහින්ද සියල්ල හෙළි කරයි

ඉස්ලාමය, හින්දු ආගම සහ බුදුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සහ සිම්බාබ්වේ රත්‍රන් මාෆියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ඌබර්ට් ඒන්ජල් සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් අගමැතිධූරයේ සිටියදී ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය තමන්ගෙන් හමුවීමක් ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ පුද්ගලයින් දෙදෙනා එක් වරක් පමණක් හමු වී ඇති බවයි.

එම කාලය තුළ තමන් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ බැවින් ආගමික නායකයින් හමුවීම් සඳහා ඉල්ලීම් කිරීමේ දී ඊට ප්‍රමුඛතාවයක් ලබා දී තිබූ බවත් ඒ අනුව මෙම දේවගැතිවරු දෙදෙනා අගමැති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් රැස්වීමක් ඉල්ලා සිටි බවත්, ඒ අනුව එම හමුවීම සිදු වූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

“එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම මා සහ මගේ බිරිඳ සමඟ කුඩා යාඥා මෙහෙයක් පැවැත්වුවා. එය අගමැතිවරයා සමග වූ නිල රැස්වීමක් වූ බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරා. මට දේවගැති ජෙරම් සහ ඌබර්ට් ඒන්ජල් හමු වී ඇත්තේ එම අවස්ථාවේදී පමණි. ඔවුන් සමඟ වෙනත් කිසිදු රැස්වීමක් පවත්වලා නෑ. ඔවුන් සමඟ මට කිසිදු පෞද්ගලික සම්බන්ධතාවක් නෑ” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ජෙරම් ප්‍රනාන්දු පසුගියදා ඉස්ලාමය, හින්දු ආගම සහ බුද්ධාගමට කළ අවමන් සහගත ප්‍රකාශයන් තරයේ හෙළා දකින බවයි. එසේම රටේ ජාතිවාදී අසමගියකට හෝ වෛරයකට ඉඩක් නොමැති බව ද ඔහු කියා සිටියා.

“ශ්‍රී ලංකාව තුළ ජාතින් අතර අසමගිය ඇති කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙකු විසින් කරන ලද ප්‍රකාශයන් මම තරයේ හෙළා දකිනවා, විශේෂයෙන් අපි ජාතියක් ලෙස සමගිය ඇති කිරීමට සහ සියලු බෙදීම් අවසන් කිරීමට දැඩි ලෙස සටන් කළා”

Rivira FB Group Rivira Youtube
To Top