දේශීය පුවත්

මැයි 18 මියගිය දෙමළ වැසියන් අනුස්මරණය කෙරුණ බොරැල්ලේ සැමරුම නොසන්සුන් වෙයි

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා මුල්ලිවෙෙක්කාල් සැමරුමට සමගාමීව සංවිධානය කළ සැමරුම් උත්සවයක් මැයි 18 දින පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුම අසළ දී පැවැත්විණි. සිවිල් සංවිධාන, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය.

එහිදී එම ස්ථානයට ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් පළමුව පැමිණ මෙහි සිදුකරන්නේ “කොටි සැමරුමක්” බවට පවසා ප්‍රබල විරෝධයක් පළ කර සිටි අතර පසුව පොලිසිය මැදිහත් වීමෙන් ප්‍රියසාද් ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කෙරුණි. පසුව එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මුල්ලිවෛක්කාල් සැමරුම කරන පිරිස සිදුකරන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටි අතර මුල්ලිවෛක්කාල් සැමරුම සිදුකරන කණ්ඩායමේ පුද්ගලියින් කිහිප දෙනෙකු ඊට විරෝධය පළ කර එලෙස ප්‍රශ්න කිරීමට ඇති අයිතිය පිළිබඳ අවේගශීලීව ප්‍රශ්න කිරීමත් සමග තත්වය උණුසුම් විය. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ද මුල්ලිවෛක්කාල් සැමරුමට සහභාගී වී සිටි අතර ඔවුන් සිදුකරන්නේ කුමක්ද යන්න එය ප්‍රශ්න කළ පිරිසට පැහැදිලි කිරීමට උත්සාහ කළත් එම කණ්ඩායමේම පුද්ගලයෙකු ඊට දිගින් දිගටම බාධා කරමින් හැසිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා තත්වය වර්ධනය විය.

එහිදී එම ස්ථානයට පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට උත්සාහ ගත්තත් ඇතැම් පිරිස් දිගින් දිගටම ගැටුමට උත්සාහ කළහ.එහි දී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට අමතර පොලිස් කණ්ඩායම් සහ කැරලි මර්ධන ඒකකය කැඳවූ වූ අතර පිරිස විසුරුවා හැරීමට ඔවුන් කටයුතු කළා.

මෙම සැමරුම සඳහා ජීවන්ත පීරිස් පියතුමා ෆේස්බුක් ඔස්සේ ආරාධනා කරමින් මැයි 18 මුල්ලිවෛක්කාල් හී “මිය ගිය දෙමළ ජනතාව සමරන්න සුදු මල් අරන් එන්න” යැයි තබා ඇති ෆේස්බුක් සටහනට ද දැඩි විරෝධයක් එල්ල වී තිබූ අතර එහි අදහස් දක්වා සිටි බහුතරයක් “දෙමළ ජනතාව” පමණක් සැමරීම පිළිබඳ ප්‍රශ්න කර තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top