දේශීය පුවත්

හොර පාස්පෝට් එකෙන් ඇවිත් ගුවන් තොටුපලේ යකා නැටූ චීන ජාතිකයින් බේරා ගන්න ඇමති කෙනෙකුත් ලියුම් ගහලා

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු මැයි 19 දින අත්අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් උත්සාහ කිරීමේ දී අමාත්‍යවරයෙකු ඇතුළු කිහිප දෙනෙකුම ඊට මැදිහත් වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම චීන ජාතිකයා තවත් චීන ජාතිකයෙකු හා ඊජිප්තු ජාතිකයෙකු සමග පැමිණ ඇති අතර ඔහු සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට යාමේ දී ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් පැමිණි චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සැකකටයුතු ලෙස හැසිරී තිබෙනවා.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පෙන්වා දුන්නේ අදාළ තිදෙනා මැයි 18 දින රාත්‍රී 09.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 දරන යානයෙන් කටුනායක දක්වා පැමිණ ඇති අතර ව්‍යාපාරික පංතියේ ආසන ඒ සඳහා වෙන් කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් ගුවන් තොටුපලට පැමිණ නිෂ්කාශන කටයුතු සිදුකරගත යුතු වුවත් පැය දෙකක් පමණ යනතෙක් ඒ සඳහා ඉදිරිපත් වී නොමැතිව එහි රැඳී සිට ඇති බවයි.

ඉන්පසුව නිෂ්කාශන කටයුතු සඳහා පැමිණ එහි සේවය කළ ආගමන විගමන නිලධාරී වෙත අප්‍රිකාවේ ගිනි රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර එම ලේඛණ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ආගමන විගමන නිලධාරියා විසින් කටුනායක ගුවන් තොටුපලේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අදාළ ගුවන් බලපත්‍රය එය ඉදිරිපත් කළ තැනැත්තාගේ ගුවන් බලපත්‍රයක් නොව බවත් එය අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ගුවන් බලපත්‍රයක් බවත් ඩුබායි ගුවන් තොටුපල වෙත ඉදිරිපත් කොට ඇත්තේ ද අදාළ ව්‍යාජ ගුවන් බලපත්‍රය බවත් ය.

ඒ අනුව, වහාම විමර්ශනයක් සිදුකරමින් අදාළ චීන ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නිවැරදි ගුවන් ගමන් බලපත්‍රය සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්ව ඇති අතර එය චීනයෙන් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍රයක් බවත් අනාවරණය කරගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළව අදාළ චීන ජාතිකයාට එරෙහිව කටයුතු නොකරන ලෙස දුරකතන ඇමතුම් රැසක් පැමිණි බවත්, අමාත්‍යවරයෙකු විසින් අදාළ තැනැත්තා ආයෝජකයෙකු බවත්, ඔහු නිවාස ව්‍යාපෘතිකයට ආයෝජනය කිරීමට පැමිණ ඇති බවත් ආගමන විගමන ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ අදාළ තැනැත්තාට අදාළ පහසුකම් සපයන ලෙසයි.

කෙසේ වෙතත් මෙම චීන ජාතිකයා ආපසු ඩුබායි වෙත පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීන් තීරණය කොට එය ක්‍රියාත්මක කිරීමට යාමේ දී අදාළ පුද්ගලයින් තිදෙනාම කලහකාරී ලෙස හැසිරෙමින් හා සැඟවීමට උත්සාහ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් සන්තකයේ විශාල මුදල් ප්‍රමාණයක් තිබූ බවට ද සැකයක් මතු වී තිබූ බවත්, තමන්ට රට තුළට පිවිසීම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් අල්ලස් ලබා දීමට ද උත්සාහ කර තිබූ බවයි.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගෙන සිටින අදාළ පුද්ගලයින් තිදෙනා ආගමන විගමන නිලධාරීන් විසින් එමිරේට්ස් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top