දේශපාලන

අන්තරෙත් ප්‍රශ්න, වසන්ත යයි, නව කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කොට තිබේ.

එම බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුනේ රජරට විශ්වවිද්‍යාලයේ ඊයේ (මැයි 20) පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සැසිවාරයේදී පත් කිරීම සිදුකළ බවයි. නව කැඳවුම්කරු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කිසිඳු තනතුරක් නොදැරූ 28 හැවිරිදි සිසුවෙකු බවත් එවැනි අයෙක් කැඳවුම්කරු ලෙස පත් වන්නේ දෙවැනි වරට බවත් ආරංචි මාර්ග පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය මේ වනවිට පවතින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුවයි. කෙසේ වෙතත් මේ වනවිට ඊට එම බලමණ්ඩලයේ මීට පෙර බලය තහවුරු කරගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ යළිත් බලය අල්ලමින් සිටින බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව මෙවර නව කැඳවුම්කරු තෝරා ගැනීම සඳහා වන සැසිවාරයට සහභාගී වීමට විශ්වවිද්‍යාල කිහිපයක අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව සබරගමුව, රුහුණ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා අවස්ථාව අහිමි වී තිබේ.

මීට පෙර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අයෙකු පළමු වරට පත්වනු ඇති බවටයි. එසේම තමන් ධූරයෙන් ඉවත් නොවන බවට වසන්ත මුදලිගේ ප්‍රකාශ කර ඇති බවටත් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top