දේශීය පුවත්

මීට වඩා හොඳයි ජෙරම්… කුණු හරපෙන් රට අමතන රාජාංගනේ හාමුදුරුවන් ගැන පැමිණිලි

රාජාංගනයේ සද්ධාරතන නම් “බෞද්ධ හිමිනමක්” සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ යූටියුබ් ඇතුළු සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් වීඩියෝපට නිකුත් කිරීම හේතුවෙන්. අවසන් වරට වීඩියෝවක් නිකුත් කරමින් ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව එලෙසම අසභ්‍ය වචනයෙන් බැනවදිමින් වීඩියෝපටයක් නිකුත් කර ඇති එම “බෞද්ධ හිමිනම” සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කර ඇත්තේ ඔහු විසින් සිදුකරන්නේ බෞද්ධාගමට ප්‍රසිද්ධියේ අපහාස කිරීමක් සහ බෞද්ධාගම සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කිරීමක් බවයි.

කෙසේ වෙතත් අදාළ වීඩියෝපට නිකුත් කරන යූටියුබ් නාලිකාවේ Comment ලෙස පළ කර ඇති අදහස් අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයා “රට වෙනුවෙන්” සහ “රටට එරෙහි දේශපාලකයින්” සම්බන්ධයෙන් එලෙස අදහස් පළ කිරීමේ ගැටළුවක් නැති බවයි.

නමුත් යූටියුබ් හී මෙතෙක් සිංහල අන්තර්ගතයන් සම්බන්ධයෙන් යූටියුබ් රෙගුලාසි නිවැරදිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම වීඩියෝපට ඕනෑම පොඩි ළමයෙකුට හෝ නැරඹිය හැකි ලෙස පළ කර තිබෙනවා. සාමාන්‍යයෙන් අසභ්‍ය වදන් සහිත වීඩියෝපට පළ කළ හැක්කේ අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා පමණයි. එහෙත් සිංහල අන්තර්ගතයන් අවේක්ෂණය නොවීම හේතුවෙන් යූටියුබ් නාලිකා බොහොමයක අසභ්‍ය වචන සහිත අන්තර්ගතයන් සාමාන්‍ය පරිදි පළ වී ඇති බව සමාජ මාධ්‍ය විශේෂඥයින් පවසනවා.

මෙම “බෞද්ධ හිමිනම” විසින් දැනට කාලයක පටන් මෙවැනි වීඩියෝපට පළ කර ඇති අතර ඒවා බොහොමයක් තුළ දැඩි අසභ්‍ය ප්‍රකාශයන් අන්තර්ගත වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෞද්ධ ස්වාමීන්වහන්සේලා ප්‍රකාශ කළේ මෙය බුදු දහම පවා විකෘති කිරීමක් බවයි. නම කීමට අකමැති වූ ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කළේ තමන් තමන්ගේ නමින් පෙනී සිටි ඔහු විරෝධය පළ කළහොත් ඊළඟ වීඩියෝ පටයෙන් තමන් වෙත ද අසභ්‍ය වදනින් බැන වදින බවයි.

බෞද්ධ ස්වාමීන් වහන්සේලා අදහස් ප්‍රකාශ කළ යුත්තේ ධර්මානුකූලව සංවර ස්වරයෙන් බවයි එම ස්වාමීන් වහන්සේලා සඳහන් කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වනවිටත් මහනායක ස්වාමීන් වහන්සේලා වෙත පැමිණිලි කර තිබුණත් මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත්, අදාළ පුද්ගලයා මෙලෙස හැසිරෙන්නේ “රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා මත” විය හැකි බවටත් මේ වනවිට බෞද්ධ ස්වාමීන් වහන්සේලා ලෙස පෙනී සිටින ඇතැමුන් සම්බන්ධයෙන් එවැනි සැකයක් මතුවන බවටත් උන්වහන්සේලා සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
To Top