ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු මැයි 19 දින අත්අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් උත්සාහ කිරීමේ දී ඇති වූ තත්වයක් සම්බන්ධයෙන් පසුගිය දා වාර්තා වූ අතර එහිදී රටින් පිටුවහල් කිරීමට නියමිතව සිටි අදාළ චීන ජාතිකයින් පසුව රට තුළට ඇතුල් කරගෙන ඇතැයි වාර්තා වේ.
එදින සිදුවූ සිදුවීම්වලින් අනතුරුව නැවතත් ඩුබායි වෙත අදාළ පුද්ගලයින් යැවීම සඳහා ඊට අදාළ කුටියක රඳවා සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ අදාළ චීන ජාතිකයා ඇතුළු තිදෙනා රට තුළට ඇතුල් කර ගැනීමටයි.
මේ වනවිට වාර්තා වන්නේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයා සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව “විමර්ශනයක්” ආරම්භ කර ඇති අතර අදාළ විමර්ශනයෙන් වරදකරු වුවහොත් පමණක් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවයි.
ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබී සොයාගෙන ඇති අතර ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේ දී එම චීන ජාතිකයා විසින් ගිනියාවේ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සැක මතුවීම මත සිදුකළ සොයා බැලීමක දී ඔහු සතුව චීන ගුවන් බලපත්‍රයක් ද හමුවී ඇති බවයි.
මේ අතර මැයි 19 දිනැතිව වහාම ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලක ජෙනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ මෙම චීන ජාතිකයා තම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නිවාස යෝජනා ක්‍රමයකට ආයෝජනය කිරීමට පැමිණි පුද්ගලයෙකු බැවින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා සඳහන් කළේ එවැනි ඉල්ලීමක් ලැබී ඇති බවත් අදාළ චීන ජාතිකයා සම්බන්ධ විමර්ශනයේ දී අදාළ ලිපිය සම්බන්ධයෙන් සලකා බැලීමට ද නියමිත බවයි.
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් ද මාධ්‍ය මගින් දැනගත් බවත්, එහිදී වරදක් සිදුව ඇති බව පිළිගන්නා බවත්, මේ සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන බවත් ය. රාජ්‍ය අමාත්‍යවරයා ලිපියක් යොමු කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එහි වරදක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

