අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
මැයි 22 දින මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සඳහන් කළේ අන්තරේ නව කැඳවුම්කරු පත් වීම සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත් වීම අතර වෙනසක් නොමැති බවයි. මහජනතාවගේ කැමැත්ත නොමැතිව ජනාධිපතිවරයා පත් වූවා සේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ කැමැත්ත නොමැතිව කුමන්ත්‍රණකාරී ලෙස නව කැඳවුම්කරු පත් කර ඇති බවත්, අවසන් වාර කිහිපයම එලෙස පත් කිරීම් සිදුකර ඇති බවත් බිමල් රත්නායක අවධාරණය කර සිටියා.
මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සම්පූර්ණයෙන්ම බලය තහවුරු කරගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තවමත් ප්‍රසිද්ධියේ තමන් හසුරුවන දේශපාලන පක්ෂය පිළිගැනීමට සූදානම් නොවන අතර සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සේම තම ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයින් සහ මහජනතාව නොමග යවමින් එම සත්‍ය යටපත් කරගෙන සිටී.
වසන්ත මුදලිගේ ඉවත් වීමෙන් පසු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස පත් කෙරුණේ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් නැමැති 28 හැවිරිදි ශිෂ්‍යයායි. සියලුම විශ්වවිද්‍යාල සම්බන්ධ වීමකින් තොරව පේරාදෙණිය, සබරගමුව හා රුහුණ යන විශ්වවිද්‍යාලය අතහැර නව කැඳවුම්කරු තෝරාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට එම විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ආශිර්වාදය සහිත නායකයින් වේ. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ගත් බොහෝ තීරණවල දී ඊට එරෙහිවීමටත් බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර වර්ජනය කිරීමටත් එම විශ්වවිද්‍යාල කටයුතු කර තිබුණි.
මෙවර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු පත් කිරීම සඳහා වන නාමික නිලවරණය පැවැත්වූ ස්ථානය පවා අවසන් මොහොතේ වෙනස් කර ඇත. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලය වෙනුවට රජරට විශ්වවිද්‍යාලය තෝරාගෙන තිබීම ද කුමන්ත්‍රණයේ කොටසක් බව බිමල් රත්නායකගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් අන්තරයේ බලය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය වන සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර දරුණු ගැටුම් ඇති වීමට නියමිත බව මේ තුළින් පැහැදිලි වේ.

