දේශීය පුවත්

ප්‍රොපට් ජෙරම් ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධීකරණය වෙත කරුණු දක්වයි

ඉස්ලාමය ඇතුළු ආගම්වලට සහ ආගමික ශාස්තෘන් වහන්සේලාට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා මැයි 24 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියා.

ඒ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන දැනුම් දුන්නේ අදාළ පුද්ගලයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත්, විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළ ස්වයං ප්‍රකාශිත ක්‍රිස්තියානි ප්‍රොපට් ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කොට තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top