විදුලි බිල සංශෝධනය කිරීමට අදාළව මේ වනවිට ඉදිරිපත්ව ඇති සැළසුම අනුව යෝජිත විදුලි බිල මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියා.
මැයි 24 දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි බිල සංශෝධනය අනුව පළමු ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩු කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව එම කාණ්ඩය සඳහා ඒකකයක නව මිල රුපියල් 25ක් වනු ඇති බවයි. එසේම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව රු 400 සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට ද යෝජනා කොට ඇත.
මෙම සහනශීලී සංශෝධනය අනුව පළමු කාණ්ඩයට අවම වශයෙන් 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බවත් එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවත් ප්‍රකාශ කළා.
දෙවන කාණ්ඩය වන ඒකක 31 – 60 දක්වා කාණ්ඩයේ විදුලිබිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩුවන බවත් විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩු කිරීමටත් යෝජනා කර ඇති අතර ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමටත් යෝජනා කර ඇතැයි විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළා.
සමස්ථයක් ලෙස හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් මෙම විදුලි බිල අඩු කිරීම ඇතැමුන් පවසන පරිදි 3%ක අඩු කිරීමක් නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර මේ වනවිට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවට අදාළ විවාදය පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙමින් තිබෙනවා.

