දේශීය පුවත්

සොර බඩු සමග රේගුවෙන් අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම් මුදා හැරේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත අනාවරණය කිරීමකින් තොරව නීති විරෝධී ආකාරයෙන් රන් සහ ඡංගම දුරකතන රැගෙන ඩුබායි සිට පැමිණි මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කර මුදා හැරීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියා.

රත්තරන් කිලෝ 3.5ක් සහ දුරකතන 91ක් මෙලෙස නීති විරෝධීව ගෙනා භාණ්ඩ ලෙස සොයා ගෙන ඇති අතර අදාළ සියලු භාණ්ඩ රාජසන්තක කිරීමට ද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලැබී ඇති ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමක දී මෙම සොරබඩු සොයා ගෙන ඇති අතර මන්ත්‍රීවරයා විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටවීමට සූදානම් වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ නිමා කිරීමෙන් පසු දඩ මුදල දැනුම් දීමත් සමග එම මුදල ගෙවා දැමීමෙන් පසු මන්ත්‍රීවරයා මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර මෙලෙස රත්තරන් සමග විදේශයක සිට පැමිණිය දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අනුර ඩැනියෙල්ගේ පාර්ලිමේන්තු අසුන පවා අහිමී වී ඇති බව වාර්තා වී තිබුණා.

එසේම මෙම අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී බෙන්ස් රථය 2022 මැයි මාසයේ දී මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් 46 හැවිරිදි එම පුද්ගලයා මිය ගොස් තිබුණා.

එසේම කොවිඩ් සංචරණ සීමා පැවති කාලයේ දී පුද්ගලයින්ට මාර්ගයේ ගමන් කිරීම සඳහා අවසරපත් ලබා දී තිබූ බවට ද මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top