ආර්ථික අර්බුදය

ආර්ථිකය පනගන්වන්න ආනයන සීමා ඉවත් කරන්න යයි, වාහන ආනයනයටත් අවධානය

කොවිඩ්-19 වෛරසය සමග රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ වාහන, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබුණා. නමුත් මේ වනවිට ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පැවතීමත්, ආර්ථිකය යළි පනගැන්වීමට අත්‍යවශ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා භාණ්ඩ රැසකට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අදියර කිහිපයක් යටතේ මෙම ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර ඇති අතර මැයි 23 දින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ජුනි මස සිට මෙලෙස ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව, විදේශ සංචිත අපේක්ෂිත තත්වයට පත් වීමත් සමග වාහන ආනයනයට පනවා ඇති සීමා ද ඉවත් කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා. ජපාන රජය ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ආනයන සීමා ලිහිල් කරන ලෙස ඉල්ලීම් කර ඇති බව ද වැඩිදුරටත් සඳහන්.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව ද ආනයනය සීමා නැවත සමාලෝචනය කළ යුතුව ඇති බවත් ආනයන සීමා ක්‍රමිකව ඉවත් කිරීම අවශ්‍ය වී ඇති බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කළා. ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව මෙම කටයුත්ත සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පළමු කාණ්ඩය ලෙස පරිගණක, ජංගම දුරකතන, වායුසමීකරණ යන්ත්‍ර, ටීවී, ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් ඇතුළත් භාණ්ඩ ලැයිස්තුවක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top