ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළැයි චෝදනා එල්ල වී දැනට විදෙස්ගතව සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති එම පෙත්සමෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ඇති අතර එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එයින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් ප්‍රිමියර් ලීගල් කන්සල්ටන්ට් නීතිඥ සමාගමේ නීතිඥ නාමල් කරුණාරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. මේ අනුව ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මේ අතර තමන් ලබන ඉරිදා (මැයි 28) දින දේවාස්ථානයේ මෙහෙයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ද නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජෙරම් ප්‍රනාන්දු සඳහන් කර තිබෙනවා.

