ව්‍යාපාර

සෞඛ්‍යට අහිතකර නිෂ්පාදන සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස අලෙවි වෙයි, බලධාරීන් නිහඬයි

සමාජ මාධ්‍ය තුළ විවිධ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම අතිශය සුලබ තත්වයක් වුවද එහි භයානක පැතිකඩක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති වීමෙන් බරපතල අර්බුදයකට පෙර නිමිති පහළ වී ඇත.

මුහුණ, මුඛය, ඇස්, කන් ඇතුළු මිනිස් ශරීරය සමග භාවිතා කරන විවිධ ආලේපන, කරල්, පෙති, පානයන් ඇතුළු විවිධ නිෂ්පාදන කිසිඳු බලධාරී ආයතනය අනුමැතිය නොමැතිව සමාජ මාධ්‍ය පිටු ඔස්සේ අලෙවි කිරීම සඳහා ප්‍රවර්ධනය කරන අයුරු ඔබ ද බොහෝ විට අත්දැක තිබිය යුතුය.

විශාල මුදලක් වැය කරමින් “sponsored” හෙවත් මුදල් ගෙවා පළ කර ඇති එම දැන්වීම් සඳහා විශාල ලෙස ප්‍රතිචාර ද ලැබී ඇති බව එම දැන්වීම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. එම දැන්වීම් තුළින් ඉහත කී ආකාරයෙන් මිනිස් ශරීරය සමග යොදාගන්නා විවිධ ද්‍රව්‍යයන් පිළිබඳ දැන්වීම් පළ කර ඇති අතර ඒවායෙන් ප්‍රතිඵල ලැබූ අයගේ බව දැක්වෙන ඡායාරූප ද ඔවුන් විසින්ම පළ කර ඇත. ඒවා දකින පාරිභෝගිකයින් ඉන් භාණ්ඩ ඉල්ලුම් කරන අයුරු ද නිරීක්ෂණය වේ.

මෙහිදී මෙලෙස විකුණනු ලබන ආලේපන ඇතුළු ද්‍රවය නියමාකාරයෙන් අනුමැතිය ලබාගෙන විකිණීම සිදුනොවන අතර විකුණන පුද්ගලයින්ගේ අනන්‍යතාවයක් හෝ නිසි පරිදි දක්වා නොමැති වීම විශේෂත්වයකි. එවැනි තත්වයක් තුළ එලෙස විකුණන යමකින් මරණය පවා සිදුවිය හැකි වුවත් ඒ සඳහා වගකීම භාර ගැනීමට කිසිවෙකු හෝ සොයාගත නොහැකි වන්නේ ඔවුන් භාණ්ඩ විකුණන්නේ හොර රහසේ සැඟවී සිට බැවිනි. දුරකතන අංකයක් තිබුණත්, බොහෝ විට එම දුරකතන අංක වෙනත් අයගේ නම්වලින් ලබාගත් ඒවා විය හැකි බව අනුමාන කළ යුත්තේ බොහෝ විට එවැනි නිෂ්පාදන අලෙවි කිරීම සමග ඉදිරිපත් කරන දුරකතන අංක ඉතාමත් කෙටි කාලයක් තුළ පමණක් ක්‍රියාත්මක වීම හේතුවෙනි.

මෙවැනි දැන්වීම් පළ කරන බොහෝ සමාජ මාධ්‍ය පිටුවල අතීතයක් නැත. හුදෙක්ම මෙම දැන්වීම පළ කිරීම සඳහා නිර්මාණය කර ඇති එම සමාජ මාධ්‍ය පිටු අපේක්ෂිත භාණ්ඩය අලෙවි කිරීමෙන් පසු වෙනත් නම්වලට වෙනස්කොට විකුණා දැමෙන බව ද නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත් මෙවැනි ද්‍රව්‍ය පරිහරණය කරන යම් පාරිභෝගිකයෙකුට අවසානයේ නීතිමය සහන හෝ ලබාගත නොහැකි තත්වයක් ඇති වී තිබීම හේතුවෙන් මෙම තත්වය වහාම නියාමනය කළ යුතුව ඇත. එහිදී ලංකාව තුළ අලෙවි කරන රූපලාවන්‍ය හා සෞඛ්‍යමය ද්‍රව්‍ය අනිවාර්ය ලෙසම රාජ්‍ය ආයතනයක අනුමැතිය ලබානොගෙන විකිණීම වරදක් වුවද මේ වනවිට එම නීතිය ක්‍රියාත්මක නොවේ.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැතිව අලෙවි වන මෙම රූපලාවන්‍ය හා සෞඛ්‍යමය නිෂ්පාදන භාවිතා කරන සිදුවූ මරණ පිළිබඳව ද පසුගිය කාලය තුළ වරින්වර වාර්තා වී ඇති අතර බොහෝ දෙනෙකු රූපය පැහැපත් කරගැනීමට ගොස් රූපය විරූපී කරගෙන තිබෙන බව චර්ම රෝග වෛද්‍යවරුන් පවසයි. ඒ නීතිවිරෝධී නිෂ්පාදන භාවිතය හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නිසි පරිදි යොමු වන තෙක් රිවිර.lk අවධානයෙන්.

Rivira FB Group Rivira Youtube
To Top