දේශීය පුවත්

දෙමළ ජාතික මන්ත්‍රී පොන්නම්බලම් පොලිසියට තග දමයි, තමන්ට පහරදුන් බවට මන්ත්‍රීවරයාගෙන් පැමිණිලි

බුද්ධි අංශ නිලධාරීන් යැයි හඳුන්වාගත් දෙදෙනකු පැමිණ තමන්ට පහර දුන් බවට අහිල ඉලංකෙයි දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ එම රැස්වීමක් සූදානම් කර තිබූ ස්ථානයට පුද්ගලයින් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණීමත් සමග මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පැමිණ ඔවුන් කවුදැයි විමසන බවයි. එහිදී එම පුද්ගලයින් දෙදෙනාව අවහිර කරගත් එම පිරිස දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර පසුව ඔවුන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කළ අතර එහිදී ඔවුන්ගේ හැඳුනුම්පත් ඉල්ලා දිගින් දිගටම එම නිලධාරීන් වට කර ගැනීමට එම පිරිස උත්සාහ දරන අයුරු නිරීක්ෂණ වේ.

පිරිස අතරින් මිදී එම ස්ථානයෙන් පිට වීම එක් පුද්ගලයෙකු උත්සාහ කළ අතර මන්ත්‍රීවරයා ඔහු පසුපසින් ගොස් ඔහු ඇදීමට උත්සාහ කිරීමත් සමග මන්ත්‍රීවරයාගේ අත ගසා දමා දිව යන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. ඒ සමගම අසළ පිහිටි විභාග ශාලාවක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එම පරිශ්‍රයේ සිට ශබ්ද නොකරන ලෙස දැන්වීමත් සමග පොන්නම්බලම් මන්ත්‍රීවරයා “තමුසේ කවුද?” යැයි විමසන ආකාරයෙන් එතැන් පටන් මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරියා අතර බහින්බස් වීමක් සිදුවන ආකාරයත් එම වීඩියෝපටවල දැක්වෙනවා.

නිවුස්ෆස්ට් වාර්තා කර තිබුණේ මේ සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බව එම කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළ බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ පහරදීමක් කිසිසේත් සිදුව නොමැති අතර මන්ත්‍රීවරයා සමග බහින්බස් වීමක් පමණක් සිදුව ඇති බවටයි.

එම වීඩියෝපටය පහළින්.

Rivira FB Group Rivira Youtube
To Top