Updated
ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (ජුනි 05) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීය.
එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතරමැදි පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයෙන් අවසර අයැද සිටියේය.
ඒ අනුව ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අද සිය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ඊට අවස්ථාවක් නොලැබුණු අතර අතරමැදි පෙත්සම්කරුවන් විසින් මේ සම්බන්ධයෙන් ගොනු කර ඇති තවත් පෙත්සමත් ජුලි 28 වැනි කැඳවීමට නියමිත බව අතරමැදි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන දන්වා සිටියා.
ඉන් පසුව සියලු පාර්ශවයන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම් සළකා බලමින් අතරමැදි පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීම සඳහා අවසර දීමටත්, මෙම නඩුව යළිත් ජුලි මස 28 දින කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
මෙහිදී ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, අතරමැදි පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන පෙනී සිටියා.

