ආගමික අපහාසයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින SL-Vlog හි බෲනෝ දිවාකර ජුනි 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 07) නියෝග කළා.
නතාශා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් හා බෲනෝ දිවාකර වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවයේ කස්සප හිමි වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ සහ සිංහල රාවය වෙනුවෙන් නීතිඥ සුසන්ත කුමාරසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ විමර්ශනවලදී අනාවරණය වූ පරිදි “මෝඩාභිමානය” නමින් පැවැත්වූ අදාළ කටයුත්ත බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබු බවත් එවැන්නකට අවසර දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුව මෙවැනි අංගයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා රැගුම් පාලක මණ්ඩලයේ පූර්ව අවසරය ගත යුතු බවයි. ඒ අනුව ඒ සඳහා එම අංගයේ පිටපත (script) ඉදිරිපත් කළ යුතුව තිබුණත් සංවිධායකයින් විසින් එම වැඩසටහනේ අනෙකුත් අංග සඳහා තිරපිටපත් ඉදිරිපත් කර තිබුණත් නතාශාගේ අංගය සඳහා එම අනුමැතිය ලබා නොගෙන එම අංගය පවත්වා ඇති බව අධිකරණය වෙත දැනුම් දුන්නා. එයින් මෙය සැළසුම්සහගතව සහ සිතාමතාම සිදුකළ ක්‍රියාවක් බව පැහැදිලි වන බව ද ඔවුන් පෙන්වා දුන්නා. එසේම අදාළ වීඩියෝපටවල සංස්කරණය නොකළ මුල් පිටපත ඉල්ලා සිටියත් මෙතෙක් අදාළ මුල් පිටපත ලබා දී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
නතාශා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ සැකකාරිය සිදුකරන ලද ප්‍රකාශය කිසිසේත්ම බෞද්ධාගමට අපහාස කිරීමේ අරමුණකින් සිදුනොකරන ලද බවත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ ප්‍රතිපාදන යටතට කිසිසේත් නොවැටෙන බවත් ය. එසේම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැබෑ බෞද්ධයින් කිසිවෙක් කලබලය හෝ පත්ව නැති බවත්, බෞද්ධාගමේ උගන්වන්නේ “නහී වේරේන වේරානි” යනුවෙන් බවත්, බෞද්ධයින් කිසිවිටෙකත් මෙවැනි ප්‍රකාශයක් කෙරේ වෛරයක් උපදවා නොගන්නා බවත් ය. එසේම බුදුන් බුද්ධත්වයට පත් වීමට පෙර කාලයේ සිදුවීමක් අලලා මෙකල දෙමාපියන් තම දරුවන් සම්බන්ධයෙන් අනෙක් අයගේ දරුවන් අලලා සංසන්දානත්මක කතා කරන ආකාරය අනුව එකල කෙසේ දරුවන්ව සංසන්දනය කරන්න ඇද්දයි ගෙනහැර දැක්වීම සඳහා කරන ලද ප්‍රකාශයක් බව ද ඔහු කියා සිටියා. ඒ අනුව, මෙම ප්‍රකාශය සිදු කළ ආකාරය තමන් ද නිවැරදි යැයි නොකියන නමුත් එය කිසිසේත්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ක්‍රියාකල හැකි ප්‍රකාශයක් නොවන බවටයි ඔහු අධිකරණය පෙන්වා දුන්නේ.
මෙහිදී බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ බෞද්ධයින් යනු තාදි ගුණයන් දන්නා ඉවසීම ඇති පිරිසක් බවයි. එකල බුදුන් හමුවේ චිංචි මානවිකාව සිදුකළ චෝදනා බුදුන් ඉවසා ගත් ආකාරය උපුටා දැක්වූ ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ක්‍රියා කිරීම සඳහා “කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතු” බව දක්වා ඇති බවත් මෙම ප්‍රකාශය මගින් කිසිවිටෙක යුද්ධය සඳහා පෙළඹවීමක් හෝ එදිරිවාදීකම් කිරීමට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීමේ අදහස් ගැබ්ව නොමැති බව පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ අදාළ ප්‍රකාශය තම සේවාදායකයා විසින් අන්තර්ජලාය වෙත උඩුගත කිරීම පමණක් කර ඇති බවයි. එසේම එය ඉවත් කර ගැනීමටත් සමාව අයැද සිටීමටත් කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා. ඒ අනුව මෙවැනි ප්‍රකාශයකින් බෞද්ධයින් කලබල නොවුනත් වාසි ලබා ගැනීමට බලා සිටින දේශපාලනඥයින් නම් කලබල විය හැකි බවයි.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත දේශනා ඉදිරිපත් කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නතාශාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පෙර සැළසුම් කළ හා බුදු දහම ඉලක්ක කර සිදුකළ ප්‍රකාශයක් බවයි. ජනාධිපති නීතිඥවරුන් පැවසූ පරිදි බෞද්ධයින් ඉවසන පිරිසක් බවත්, නතාශාට හෝ පවුලේ අයට කිසිඳු හානියක් සිදුවී නැත්තේ ද එම ඉවසීම නිසා බව නීතීඥවරයා පෙන්වා දුන්නේය. එසේම එවැනි අවිහිංසාවාදී ආගමක් සහ ශාස්තෘවරයෙක් විහිළුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. නතාශාට සිය “බ්‍රා” එක සම්බන්ධයෙන් විහිළු කිරීමට හැකි බවත්, ඊට අයිතියක් ද ඇති බවත්, පැවසූ නීතිඥවරයා පෙන්වා දුන්නේ ආගමක් සම්බන්ධයෙන් විහිළු කිරීමට, විහිළුවට ගැනීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි. ආගම් සම්බන්ධයෙන් සංවාද කිරීම, ආගම් ගැන ප්‍රශ්න කිරීමට අයිතියක් ඇති බවත්, එය විහිළුවට ගැනීම කිසිසේත් සිදු නොකළ යුතු බවත් පැවසූ නීතිඥවරයා පෙන්වා දුන්නේ යමෙක් ගහකට ගලකට වැන්දත් එය ඔහුගේ විශ්වාසයක් බැවින් ඊට විහිළු කිරීමට අයිතියක් නොමැති බවයි. එසේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව මෙම පනත යටතේ සිදුකරන වරදක් සම්බන්ධයෙන් චෝදනාවකට ඇප දිය නොහැකි බවත්, “එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතු” බව දක්වා ඇති බව අධිකරණයේ අවධානයට යොමු කරමින් පවසා සිටියේ සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.
මෙහිදී අගතියට පත් පාර්ශවයක් වන සිංහල රාවය සංවිධානය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥ සුසන්ත කුමාරසිංහ පවසා සිටියේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම අධිකරණයට දැඩි අපහාසයක් සිදුකර ඇති බවයි.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ “විදර්ශන කන්නංගර නැමැත්තෙකු නතාශා එදිරිසූරිය නිදොස් කොට නිදහස් කරන ලෙස බල කරන බව” ප්‍රකාශ කළැයි පැවසූ නීතිඥවරයා පෙන්වා දුන්නේ යමෙක් නිදොස්කොට නිදහස් කළ හැක්කේ අධිකරණය පමණක් වන බවත්, ඊට ක්‍රමවේදයක් ඇති බවත්, මෙලෙස බලපෑම් කිරීම අධිකරණයට අපහාස කිරීමත් බවත්ය. ඒ අනුව, එම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ පුද්ගලයින් 5 දෙනෙකු සම්බන්ධයෙන් ඡායාරූප හා වීඩියෝපට උපුටා දක්වමින් අධිකරණයට අපහාස කිරීම පිළිබදව වාර්තාවක් කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු පවසා සිටියේ තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවරගෙදර, ලක්මාලි හේමචන්ද්‍ර, විදර්ශන කන්නංගර හා බ්‍රිටෝ ප්‍රනාන්දු යන අය මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කර ඇති බවයි.
සියලු කරුණු බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රකාශ කර සිටියේ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අවසර දෙන බවත්, ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහාත් අවසර දෙන බවයි. ඒ අනුව, එම කරුණු සියල්ල සළකා බැලීමෙන් අනතුරුව ඇප සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන බවත්, එතෙක් සැකකරුවන් ජුනි 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ය. එසේම අධිකරණයට අපහාස කළ බවට නීතිඥවරයා විසින් දැක්වූ කරුණු අනුව අදාළ පුද්ගලයින් 5 දෙනාගෙන් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

