දින 14 කට ආසන්න කාලයක් පුරප්පාඩු වී තිබු පොලිස්පති ධුරය සඳහා හිටපු පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න යළි පත් කිරිමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව වත්මන් පොලිස්පතිවරයා ලද දෙවන සේවා දිගුවට අදාළව ජූලි 09 දින පොලිස් මූලස්ථානයේ දී රාජකාරි ආරම්භ කර ඇත.
ජූලි 09 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 3ක කාලයක් සඳහා අදාළ සේවාදිගුව ලබා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ලබා දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව, 2023 මාර්තු 23 දින වයස අවුරුදු 60 සීමාවට පැමිණීම මත ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා මීට පෙර තුන් මසක සේවා දිගුවක් ලබා දී තිබූ අතර එම සේවා දිගුව ජුනි 25 දිනෙන් අවසන් විය.
2020 වසරේ නොවැම්බර් මස 27 දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ පොලිස්පති චන්දන වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුව පත් කිරීම සඳහා සළකා බැලෙන නිලධාරීන්ට එරෙහිව නඩු කටයුතු පැවතීම හේතුවෙන් නව පොලිස්පතිවරයෙකු පත් කිරීම ප්‍රමාද වන බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ද සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ 1 සිට 4 දක්වා වූ අයට විවිධ චෝදනා ඇති බවයි.
පොලිස්පති ධුරය සඳහා සළකා බැලෙන බව පැවසෙන ලැයිස්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන පිරිස සිටී.
කෙසේ වෙතත් මේ වනවිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පවතින බොහෝ නඩුවලින් ඔහු නිදහස් වී ඇති අතර මෙම ධූරයට ඔහු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

