දේශීය පුවත්

ගොවිතැන වෙනුවෙන් සමනල වැවෙන් උඩවලවට ජලය නිකුත් කරයි, හානි වූ වගා සඳහා වන්දි ගෙවීමටත් එකඟතාවයක්

බෙලිහුල්ඔය සමනල වැව ජලාශයේ සිට උඩවලව ජලාශය දක්වා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

විදුලිය නිපදවීම සඳහා විකල්ප ක්‍රමයන් යොදා ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුව පළමු වටය ලෙස දින 3ක් සඳහා අවශ්‍ය ජලය මුදා හැරීමට පියවර ගෙන ඇති අතර එම ක්‍රියාවලිය අගෝස්තු 08 දින පෙරවරු 3 සිට ආරම්භ කළ බව එම අමාත්‍යංශය පෙන්වා දෙනවා. ඒ අනුව දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිතයි.

වගාවන් සඳහා අවශ්‍ය ජලය නිකුත් නොකිරීම හේතුවෙන් ගොවි ජනතාව පසුගිය දින කිහිපය පුරාම බලධාරීන් වෙත දන්වා තිබුණේ තමන්ගේ අස්වැන්න විනාශ වෙමින් පවතින බවයි. ඇති වී තිබෙන නියං තත්වය පිළිබඳ නිසි පරිදි පෙර දැනුවත් කර නොමැති වීමෙන් මෙම අර්බුදය ඇති වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම සඳහන් කළා.

මහවැලි අධිකාරිය සඳහන් කළේ මෙම නියං තත්වය වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණික තත්වයක් බවයි. ඒ සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් මෙම අර්බුදය ඇති වූ බව ද එම අධිකාරිය පවසනවා.

මහවැලි අධිකාරිය පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් අක්කර අඩි 217,800ක ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය අගෝස්තු 07 දින උදෑසන වන විට අක්කර අඩි 956 දක්වා පහළ බැස තිබු බවයි.

ගොවීන් පවසන්නේ අපේක්ෂා කළ පරිදි ජලය නොලැබීම හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 800ක පමණ කුඹුරු සහ හෙක්ටයාර 100කට අධික බෝග වගාවන් මේ වනවිට විනාශ වී ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි නිකුත් කිරීමටත්, විදුලි නිෂ්පාදනය සඳහා විකල්ප ක්‍රමවේද යොදාගැනීමටත් තීරණය කර තිබෙනවා.

එසේම වගාහානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට ද එහිදී ජනාධිපතිවරයා එකඟතාව පළකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් හමුවෙන් පසු සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top