දේශීය පුවත්

මැති-ඇමතිවරුන්ට යළිත් සුපිරි රථ ගෙන්වීමට සැළසුමක්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත බලපත්‍ර මත අධි සුඛෝපභෝගී රථ සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී රථ වාහන ගෙන්වීමට සැළසුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ 2023 සැප්තැම්බර් මාසය වනවිට අදාළ ඉල්ලීම ක්‍රියාත්මක කර දෙන ලෙසයි. ලෝක වෙළඳපොලේ ඇතැම් වාහන සඳහා පොරොත්තු ලේඛණයක සිටිය යුතු තත්වයක් පවතින බැවින් හැකි ඉක්මණින් මේ සඳහා අවසර දෙන ලෙස ද මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමග රට වසා දැමීම හා ඒ සමග ඇති වූ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමේ පියවරක් ලෙස වාහන ඇතුළු බොහෝ ආනයනික භාණ්ඩ සීමා කිරීමටත්, තාවකාලිකව නවතා දැමීමටත් ආණ්ඩුව තීරණය කර තිබුණා. ඒ සමගම සාමාන්‍ය ජනතාවට මෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු අමාත්‍යධූරවලට පත් වූ මන්ත්‍රීවරුන්ට නව වාහන මිල දී ගැනීමට තිබූ අවස්ථාව ද අහිමි වී තිබුණා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත වීමත් සමග රට තුළ පනවා ඇති ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන ලෙස එම අරමුදල විසින් පනවා ඇති කොන්දේසිවල ද සඳහන් වන අතර මේ වනවිට සැළකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් යළිත් ආනයනය කිරීම සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් මුදල් අමාත්‍යංශය පවසා සිටියේ රථ වාහන ආනයනය සඳහා තවත් මාස කිහිපයක් ගත වන බවයි.

එවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත බලපත්‍ර මත අධි සුඛෝපභෝගී රථ සහ ආණ්ඩුවේ අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී රථ වාහන ගෙන්වීමට කටයුතු කරන ලෙස පාර්ශව රැසක් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති අතර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ද මුදල් අමාත්‍යංශයෙන් ද මෙලෙස ඉල්ලීම් කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේම මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට රජයේ නිලධාරීන් භාවිතා කරන රථ වාහන සහ රජයේ ආයතන විසින් පරිහරණය කරන රථ වාහන ද දැඩි ලෙස අබලන් වී ඇති බවටත්, බොහෝ වාහන අලුත් වැඩියා කටයුතු සඳහා අධික ලෙස මුදල් වැය කෙරෙමින් පවතින බවත්, එලෙස අලුත්වැඩියා සඳහා මුදල් අනුමත නොකිරීම හේතුවෙන් බොහෝ රථ වාහන ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් රාජ්‍ය ආයතන මගින් ද දැනුම් දී ඇති බවයි. එම රාජ්‍ය ආයතන ද ඉල්ලා ඇත්තේ ආනයන තහනම මධ්‍යයේ ආනයනය කර ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති වාහන රජයේ ආයතන වෙත මුදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි.

නමුත් එම ඉල්ලීමට හෝ අවසර දී නොමැති වටපිටාවක මැති-ඇමතිවරුන් සඳහා අධි සුඛෝපභෝගී රථ වාහන ගෙන්වීමට කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව එම ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, අදාළ පිරිස සඳහා වාහන ආනයනය කිරීම සඳහා ඇති ශක්‍යතාවය අධ්‍යයනය කිරීමට සහ ක්‍රමවේදයක් සකස් කිරීමට නිලධාරීන් වෙත පවරා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

මන්ත්‍රීවරුන් තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් ලෙස ආණ්ඩුව විසින්ම ප්‍රකාශ කර ඇති පසුබිමක තමන්ට ගමට යාම සඳහා සුදුසු වාහනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

මේ අතර වාහන ආනයනය කිරීමට යළිත් අවසර දීමේ දී එහි වාසිය ජනතාවට හිමි වීම වැළැක්වීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටිනවා. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වාහන ආනයනකරුවන් සහ වාහන අලෙවිකරුවන් විසින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් වාහන ආනයනය යම් පෞද්ගලික සංගමයක ලියාපදිංචි අයට පමණක් සිදුකිරීමට හැකිවන පරිදි සිදුකරන ලෙස මුදල් අමාත්‍යංශය වෙත බලපෑම් කරමින් සිටින බවයි. ඒ අනුව ඒවායේ මිල තීරණය කිරීමේ තනි බලයක් ඔවුන් ලබාගෙන පැරණි වාහන සඳහා පවතින වර්තමාන වෙළඳපොල සුළු ප්‍රමාණයකින් පමණක් පහළ යන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔවුන් බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top