බලපත්‍රලාභී බැංකු මගින් ලබා දී ඇති ණය පහසුකම්වලට අදාළ සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දමන ලෙස මහ බැංකුව අගෝස්තු 25 දින චක්‍රලේඛයක් මගින් බැංකු වෙත නියෝග කර තිබිණි.
නමුත් මේ වනවිට එම නියෝගයට සති දෙකක් ආසන්න වී ඇතත් තවමත් රාජ්‍ය බැංකු මගින් හා ඇතැම් පෞද්ගලික බැංකු මගින් ණය පොලී අනුපාත පහළ දැමීමට කටයුතු කර නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. බොහෝ පෞද්ගලික බැංකු මගින් පෞද්ගලික ණය පොලී අනුපාතය 15.5%ත් 17.5%ත් අතර ප්‍රමාණයක් දක්වා අඩු කර තිබුණ ද ඇතැම් පෞද්ගලික බැංකු 28%ක් වැනි පොලී අනුපාත අය කරන බව ද පාරිභෝගිකයින් පෙන්වා දෙයි.
මේ අතර රාජ්‍ය බැංකු මගින් ද තවමත් පොලී අනුපාත පහළ හෙලීමට ක්‍රියාකර නොතිබීම රාජ්‍ය සේවකයින් ඇතුළු ණය පාරිභෝගිකයින්ගේ කණස්සල්ලට හේතුවී තිබෙනවා. ඒවායේ පොලී අනුපාතයන් 21%ත් 28%ත් අතර ඉහළ පොලියක් අය කරමින් සිටින බවත්, ඒ පිළිබඳ විමසීමේ දී පොලී අනුපාතයන් 15%-18% අතර ප්‍රමාණයක් දක්වා අඩු වීමට නියමිත බව තමන් වෙත දැනුම් දුන්න ද මෙතෙක් එම පොලී අනුපාතයන් ක්‍රියාත්මක නොවන බව ණය පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.
එසේම මහබැංකුව විසින් නිකුත් කළ චක්‍රලේඛයට අදාළ සියලු සහනයන් මීට පෙර ලබාගෙන ඇති ණය සඳහා ද අදාළ විය යුතු අතර එම පහසුකම්වලට අදාල හිඟවාරික ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද අදාළ විය යුතු බව එම චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා තිබේ. 1949 අංක 58 දරන මුදල් පනත යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ද එමගින් වැඩිදුරටත් දන්වා තිබේ.
මේ අතර මූල්‍ය ආයතන මගින් 32%-43% අතර දැවැන්ත පොලී අනුපාතයන් තවමත් අය කරමින් සිටින බවට ද ණය පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. එම ණය පාරිභෝගිකයින් මේ වනවිට එම ණය පියවීම සඳහා “ණය පියවීමේ ණය” වානිජ බැංකු මගින් ඉල්ලුම් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, මූල්‍ය ආයතන පාරිභෝගිකයින් එම ආයතනවලින් ඉවත් වීමට තීරණය කර ඇති තත්වයක් පවතින බවත් ණය පාරිභෝගිකයින් පවසනවා. එහෙත් එලෙස ණය එකවර ගෙවා දැමීමට ඉල්ලුම් කිරීමේ දී බොහෝ මූල්‍ය ආයතන සම්පූර්ණ පොලී අනුපාතයන් අය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අනාගත පොලී අනුපාතයන් ද අය කිරීමට කටයුතු කරමින් සිටින බවටත් ණය පාරිභෝගිකයින් චෝදනා කර සිටිනවා.

