පසුගිය දින කිහිපය තුළ බැංකු හා මූල්‍ය ආයතන මගින් ලීසිං පොලී තරමක් දුරට පහළ හෙලීම හේතුවෙන් පාරිභෝගිකයින් වාහන මිල දී ගැනීමට වැඩි වශයෙන් උත්සාහ කරනු ඇති බවට වන උපකල්පනයක් මත මේ වනවිට පසුගිය මාසයට වඩා වාහන මිල බොහෝ ලෙස ඉහළ දමා තිබෙනවා.
වාහන අලෙවිකාර සමාගම් විසින් මෙහෙයවනු ලබන වාහන සම්බන්ධයෙන් අධික මිල ගණන් යටතේ වාහන විකිණීම සඳහා ඉදිරිපත් කර තිබෙන අතර ඒ දැන්වීම් මත පදනම් වී පෞද්ගලික වාහන අලෙවිකරුවන් ද ඉහළ මිල ගණන් යටතේ වාහන අලෙවි කිරීමට ඉදිරිපත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා බිස්නස් ටීවී හී ආර්ථික විශේෂඥයෙකු වන ජයන්ත කෝවිලගොඩගේ පවසන්නේ මෙලෙස ඉහළ මිල ගණන් යටතේ විකිණීමට ඉදිරිපත් කළ ද ඒවා විකිණෙන තත්වයක් නොමැති බවයි. පසුගිය කාලවල මහබැංකු සංඛ්‍යා ලේඛණ උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ සේල් හිමියන් අපේක්ෂා කරන පරිදි පාරිභෝගිකයින් ණය හා ලීසිං ලබාගෙන වාහන මිල දී ගැනීමට උනන්දුවක් දක්වා නොමැති බවයි.
මේ තත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් උපකල්පන මත ඉහළ දමා ඇති වාහන මිල නියත වශයෙන්ම පහළ යන බැවින් වැඩි මිලට වාහන මිල දී ගෙන මුදල් අපතේ නොයවාගන්නා ලෙසයි ඔහු උපදෙස් ලබා දෙන්නේ.

