රට පුරා සියලු වෙළඳසැල් තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති කර තිබෙන බව පාරිභෝගිකයින් පවසනවා. මේ සම්බන්ධයෙන් රිවිර.lk කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ මිල ඉහළ දැමීමේ අපේක්ෂාවෙන් සහල් තොග සඟවා තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවයි.
පිටකොටුවේ තොග වෙළෙඳුන්ගෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ තමන් වෙත මෝල් හිමියන් සහල් ලබා දීමට එකඟ වුවත් ඒ සඳහා පාලන මිල ඉක්මවූ මුදලක් ගෙවන ලෙස පැවසූ බවයි. එම මිලට සහල් මිල දී ගතහොත් පාරිභෝගිකයින් වෙත විකිණීමට සිදුවන්නේ කිලෝවක් රුපියල් 320කට පමණ වන බවත් මෝල් හිමියන්ගේ උත්සාහය මිල වැඩි කිරීම බවත් එම වෙළෙඳුන් පෙන්වා දුන්නා. එසේම පසුගිය කාලයේ එලෙස අධික මිල ගණන්වලට ආහාර මිල දී ගෙන පාලන මිල ඉක්මවා විකිණීමට සිදුවීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය විසින් ඊට එරෙහිව නඩු පැවරීමෙන් වෙළෙඳුන්ට අධික දඩ මුදල් ගෙවීමට සිදුවූ බව ද වෙළෙඳුන් පෙන්වා දුන්නා. එබැවින් අධික මිලට සහල් මිල දී ගැනීම බොහෝ තොග වෙළෙඳුන් ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙලෙස හිඟයක් ඇති වී තිබෙන බව ඔවුන් පවසනවා.
මේ අතර සිල්ලර වෙළෙඳුන්ගෙන් කළ විමසීමක දී ඔවුන් ද සඳහන් කළේ තමන්ට කීරි සම්බා මිල දී ගැනීමට සහල් තොග වෙළඳසැල් තුළ නොමැති බවයි. ඔවුන් පවසන්නේ අලෙවිය අඩු සහල් වර්ග විකුණා ගැනීමට මෝල් හිමියන් මෙම අවස්ථාව උපයෝගී කරගන්නා බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔවුන් සඳහන් කළේ සහල් තොග සඟවාගෙන ඇති බවට තොරතුරු ඇත්නම් 1977 අංකයට දැනුම් දෙන ලෙසයි. එසේම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීම අඛණ්ඩව සිදුකරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1977 අංකයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
ඔවුන් සඳහන් කළේ මේ වනවිට පහත පරිදි පාලන මිල ගණන් පනවා ඇති බවයි.
කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්
සම්බා කිලෝවක් රුපියල් 230ක්
නාඩු කිලෝවක් රුපියල් 220ක්
රතු කැකුළු කිලෝවක් රුපියල් 210ක්

