අපරාධ වාර්තා

චැනල් 4 චිත්‍රපටය වෙබ් අඩවියෙන් ඉවත් කරලාද? ඇත්ත මෙන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විකාශය කළ චිත්‍රපටය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විවිධ අදහස් පළ වූ බැවින් රිවිර.lk මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළා.

එම විමර්ශනයේ දී අනාවරණය වූයේ චැනල් 4 නාලිකාවේ නිල වෙබ් අඩවියේ එම වාර්තා චිත්‍රපටය තවමත් පවතින බවයි. නමුත් එය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන ආකාරයෙන් වාරණයක් පැනවීමට එම නාලිකාව කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට වීපීඑන් මෘදුකාංගයක් හරහා වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ වීඩියෝව නැරඹීමට තවමත් හැකියාව පවතිනවා.

මේ අතර තවත් පිරිසක් චෝදනා කර තිබුණේ චැනල් 4 පුවත් නාලිකාවේ යූටියුබ් චැනලය වෙත නිකුත් කර තිබූ පූර්ව ප්‍රචාරක පටය ද ඉවත් කරගෙන සංස්කරණය කොට නැවත පළ කර ඇති බවටයි. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වූයේ මූල් ප්‍රචාරක පටය තුළ රජයේ ඉහළ නිලධාරියෙකු බව කියන අයෙකු විසින් සිදුකරන ප්‍රකාශයේ හඬ සංස්කරණය නොකොට එලෙසින්ම ප්‍රචාරය කර තිබීම හේතුවෙන් එම ප්‍රචාරක පටය ඉවත් කරගෙන ඇති බවයි. පසුව එම හඬ හඳුනාගත නොහැකිවන ආකාරයෙන් සංස්කරණය කොට අදාළ ප්‍රචාරක පටය යළිත් යූටියුබ් නාලිකාව වෙත මුදා හැරීමට චැනල් 4 නාලිකාව කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති වාර්තාමය චිත්‍රපටයක් ශ්‍රී ලංකාවට දර්ශනය නොවන පරිදි වාරණය කිරීම සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බව ද මේ පිළිබඳ සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය විය.

Rivira FB Group Rivira Youtube
To Top