දේශීය පුවත්

රජයට පවරාගෙන තිබූ මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය යළිත් හිස්බුල්ලාටම බාරදෙයි

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය නැවතත් එහි හිමිකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙත බාර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවරගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව තමන් වෙත මෙම විශ්වවිද්‍යාලය ආපසු ලැබුණු බව හිස්බුල්ලා මාධ්‍ය වෙත සඳහන් කළා. එසේම පාස්කු ප්‍රහාරයට තම සම්බන්ධතාවයක් නොමැති බැවින් මෙම බාරදීම සිදුකළ බවත් පසුගිය කාලයේ නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එය රජයට පවරාගෙන තිබූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

දැඩි ආන්දෝලනාත්මක කතාබහකට ලක් වු නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා බව මීට පෙර එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් 2020 වසරේ නොවැම්බර් 27 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එය පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙනයාමට කිසිදු ආකාරයකින් ඉඩනොතබන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස එදින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. එමෙන්ම, අදාළ ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා එදින සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, එම ආයතනය රජයට පවරාගන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් එදින අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ය.

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා, ‘”මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරේ ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ශරියා නීතිය හෝ මොකක් වුණත් අපි හොයලා බලනවා. විෂයේ නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි. ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිළිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ. අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.” යනුවෙන් පැවසුවා.

Rivira FB Group Rivira Youtube
To Top