දේශීය පුවත්

ආදරය කිරීමයි සිප් එක පාත් කිරීමයි දෙකක් – හෝමාගම පොලිසිය

හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හිමිකාරත්වයක් ඇති උද්‍යානයක සිටි පෙම්වතුන් වැටලීමට හෝමාගම පොලිසිය සැප්තැම්බර් 24 දින කටයුතු කර තිබුණා. ඒ එම ස්ථානයේ බාලවයස්කාර දරුවන් ලිංගික නිරතවන බවට ලද පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බවයි හෝමාගම පොලිසිය සඳහන් කළේ.

වීඩියෝ කැමරා සහිත මාධ්‍ය කණ්ඩායමක් ද සහිතව අදාළ වැටලීම සිදුකරන හෝමාගම පොලිසිය පවසන්නේ එම උද්‍යානයේ ඉදිකර ඇති කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් ඒවායේ සිටියදී හමු වූ බවයි. ඒ අනුව ඔවුන් සියලු දෙනා කැදවා එම තරුණයින්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාළ තරුණියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කළ බව ද හෝමාගම පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ දී එම උද්‍යානයේ හිමිකරු ඒ සම්බන්ධයෙන් විමසීමේ දී පොලිස් නිලධාරියෙකු සහ හිමිකරු අතර උණුසුම් සංවාදයක් ද ඇති වන ආකාරය සමාජ ජාල වෙත මුදා හැර තිබූ විඩියෝපටවල දැක්වෙනවා. එහිදී තරුණයින්ට ආදරය කිරීමට නොහැකිදැයි හිමිකරු පොලිසියෙන් කළ විමසීමේ දී පොලිස් නිලධාරියා පවසන්නේ ආදරය කිරීමයි සිප් එක පාත් කිරීමයි දෙකක් බවයි. එය දෙකක් වන්නේ කෙසේදැයි හිමිකරු පෙරලා ප්‍රශ්න කිරීමේ දී “ඔයා මාත් එක්ක ආර්ගියු කරනවාද?” කියා පොලිස් නිලධාරියා හිමිකරුගෙන් විමසීමේ දී හිමිකරු “ඔව්” යැයි පිළිතුරු දෙයි. පසුව “මෙයාවත් දාගන්න” යැයි පොලිස් නිලධාරියා අනෙකුත් නිලධාරීන්ට උපදෙස් දෙන අයුරු වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වෙතත් එම වැටලීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ දෙනා සඳහන් කර සිටියේ මෙම ක්‍රියාව පොලිසිය විසින් සිදු කළ “නොහොබිනා” ක්‍රියාවක් බවයි. වයස අවුරුදු 16 ඉක්මවූ සියලු දරුවන්ට තමන්ගේ ශරීරය පිළිබඳ හා ලිංගික කටයුතු පිළිබඳ තීරණය කිරීමට නීතියෙන් අවසර ලබා දී ඇති පසුබිමක හුදෙක් පෙම් කිරීමටත් පොලිසියෙන් බාධා කරන්නේ නම් අදාළ තරුණයින් කාමර වෙත යාමට පෙළඹවීමක් මේ හරහා සිදුවන බවට සමාජයේ බොහෝ දෙනා පොලිසිය වෙත චෝදනා කර තිබෙනවා.

නීතිඥවරුන් පෙන්වා දෙන්නේ පොලිසිය එම අවස්ථාවේ කඩා පැන්නා ආකාරය හා අදාළ තරුණයින්ට බලපෑම් කළ ආකාරය තුළ පැහැදිලි ලෙසම එම තරුණයින්ගේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක්ව ඇති බවයි. අවවාද කිරීමෙන් පසුව මුදා හැරි බව පොලිසිය පැවසුවද එහිදී “නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක්” සිදුව ඇති බව නීතිඥවරුන් පෙන්වා දෙනවා. එසේම එම ස්ථානයේ පොලිසිය පවසන ආකාරයෙන් බාල වයස්කාර ගැහැණු දැරියන් සිටියේ නම් අවවාද කර මුදා හැරීමක් සිදුකළ නොහැකි බවත්, අනිවාර්ය ලෙසම පොලිස්භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් නීතිඥවරු පවසනවා. නමුත් පොලිසිය විසින් ඔවුන් මුදා හැරීමෙන් එම ස්ථානයේ බාලවයස්කාර දැරියන් සිට නොමැති බව ගම්‍ය වන බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ. එවැනි තත්වයක් තුළ අදාළ තරුණයින්ගේ නිවෙස් වෙත ඇමතුම් ලබා දීමට පොලිසියට බලයක් නොමැති බවත් එය අයුතු අවහිරයක් වන බවත්, යම් හෙයකින් එම වැඩිහිටි තරුණයින් පෙම් සුව විඳිමින් සිටියදී පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා පැන වීඩියෝගත කර ඇත්නම් එය ලිංගික හිංසනයක් වන බවත් නීතිඥවරුන් පෙන්වා දෙනවා.

වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි එක්වරම කඩා පනින පොලිස් නිලධාරීන් සිය පුද්ගලික දුරකථන මගින් වීඩියෝ හා ඡායාරූප ගැනීමක් සිදුකරන අයුරු නිරීක්ෂණය වන බවත්, අදාළ තරුණයින් මුදා හැරීමෙන් පසු එම දර්ශන ඉවත් කිරීමක් සිදු වී ඇත්ද යන්න ගැටළුකාරී බවත් නීතිඥවරු පවසනවා. මේ වනවිට එවැනි වීඩියෝපට හා ඡායාරූප සඳහා අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි මගින් ඉහළ ඉල්ලුමක් ඇති බවත්, එලෙස අනවසරයෙන් හා නිල බලය අයුතු ලෙස භාවිතා කර ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝපට පොලිස් නිලධාරීන් සතුව ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත්, එහි වගකීම හෝමාගම පොලිසිය විසින් භාරගත යුතු බවත් නීතිඥවරුන් පෙන්වා දෙනවා.

එසේම සියලු පුරවැසියන් සිය අයිතීන් සම්බන්ධව දැනගෙන සිටිය යුතු බව නීතිඥවරු අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසිය සිය රාජකාරි සිදුකිරීමේ දී පුද්ගලිකත්වයට හා මූලික අයිතිවාසිකම්වලට හානියක් නොවන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. යම් හෙයකින් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් වන නඩුවක දී පොලිස් නිලධාරියෙකු වරදකරුවෙකු වුවහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ සිය පුද්ගලික මුදලින් බවත්, ඉන් පසු උසස්වීම් පවා ලබාගත නොහැකි බවත්, විනය පරීක්ෂවලට පවා මුහුණ දීමට සිදුවන බවත් නීතිඥවරු පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top