ව්‍යාපාර

කොවිඩ් සමයේ සිට අධික ලාභ ලැබූ බැංකුවලට අයවැයෙන් ලොකු බද්දක්!

රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා සහයත් ඒ සමගම රට තුළ යළිත් ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ දැමීමට මූල්‍ය වෙළඳපොලට මුදල් මුදා හැරීම සඳහා පොලී අනුපාත පහළ දැමීමටත් මහබැංකුව තීරණය කළා.

නමුත් මහබැංකුව අපේක්ෂා කළ පරිදි බැංකු සහ මූල්‍ය ආයතන මගින් පොලී අනුපාත පහළ නොදැමීමත්, අපේක්ෂා කළ පරිදි ව්‍යාපාරික ණය හා පුද්ගල ණය ඉහළ නොදැමීමත් හේතුවෙන් වෙනත් උපක්‍රම සඳහා යොමු වීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මුදල් අමාත්‍යංශයේ අයවැය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 2024 අයවැය සකස් කිරීමේ දී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බවයි. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල තුළ දී බැංකුවලට සහනයක් ලබා දෙමින් බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත නොකිරීමට රජය තීරණය කර තිබුණා. ඒ බැංකු වෙතින් ලබාගත් ණය ආපසු අය කර ගැනිමට අපහසු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන්. බැංකු මගින් ලබාදී ඇති ණය ආපසු අය කර ගැනීම අපහසු වීමට පොලී අනුපාත අධික ලෙස ඉහළ යාම ඉවහල් වී ඇති බව නිරීක්ෂණය වීමෙන් පසු මහබැංකුව යළිත් මූල්‍ය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට විවිධ උපක්‍රම යෙදුවත් බැංකුවෙතින් ඊට අවශ්‍ය සහය හිමිව නොමැති බව ඉහත කී ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

ඒ අනුව, කොවිඩ් සමයේ ජනතාව වෙත ලබාදුන් සහන කාලය වෙනුවෙන් අධික පොලී මුදල් අය කිරීම සහ ඉන්පසු පොලී අනුපාත ඉහළ යාම තුළින් ද, රජයෙන් නිකුත් කළ බැඳුම්කර හා බිල්පත්වලට ලබාදුන් ඉහළ පොලිය හේතුවෙන් ද බොහෝ බැංකු අධික ලෙස ලාභ රැස් කර ඇති බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග පෙන්වා දුන්නා. ඒ අනුව, එළැඹෙන අයවැයෙන් තෝරාගත් බැංකුවලට සැළකිය යුතු මට්ටමේ බද්දක් පැනවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් නගා සිටුවීම වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීම පුද්ගල ආර්ථිකය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීම සහතික කිරීම සඳහා මේ වනවිට බැංකු මගින් අපේක්ෂිත සහය නොලැබීම මේ තීරණයට හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top