ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු සභාපතිවරුන් සඳහා ඔක්තෝම්බර් මාසයේ දී සියලු පහසුකම් හා වරප්‍රසාද සහිතව දින 10ක “අධ්‍යයන චාරිකාවක්” සඳහා අවස්ථාව සළසා ඇති බව රිවිර.lk වෙත වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල රැස්වීම සඳහා ජනාධිපතිවරයා සමග ද පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමක් ජනතාවගේ බදු මුදලින් ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබුණි. ඒ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත සහ වඩිවෙල් සුරේෂ් යන මන්ත්‍රීවරුන්.
මෙරට රාජ්‍ය සේවකයින් අනේකවිධ දුක් අඳෝනා මැද අවම වැටුපකින් සිය ජීවිතය ගැටගහගන්නා පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සඳහා අධ්‍යයන චාරිකා සූදානම් කිරීම විශේෂිත තත්වයක් වේ. ජනාධිපතිවරයා වරෙක පැවසූ පරිදි මේ රටේ ජනතාව ගෙවා දමන්නේ අසීරු කාලසීමාවකි. එහිදී සියලු දෙනාට කැප කිරීම් කිරීමට සිදුවන බව ජනාධිපතිවරයා පැවසීය. නමුත් එවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමකට ඇමරිකානු සංචාර ලබා දීම ඔවුන්ගේ කැප කිරීම්වල ප්‍රමාණය තේරුම් කරවන්නක් බව විචාරකයින්ගේ අදහසයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් කළ විමසීමක දී පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සංචාරය සඳහා ශ්‍රී ලංකා රජය වියදම් නොදරන බවත්, ඇමරිකානු USAID ආයතනයේ අනුග්‍රහය මත ඇමරිකානු NDI ආයතනය මෙම සංචාරය සූදානම් කර ඇති බවයි. පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ ඉල්ලීම පිළිගනිමින් මන්ත්‍රීවරුන්ගේ නම් යොමු කිරීම පමණක් සිදුකළ බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සභාපතිවරයා වෙනුවට සුළු ජන කොටස් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කොට එවන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් අදාළ සංචාරය සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන ආචාර්ය සරත් වීරසේකර වෙත අවස්ථාව අහිමි වී ඇති බව ද වාර්තා වේ. ඔහුට වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බැවින් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දැන්වූ බව ආචාර්ය සරත් වීරසේකර අප කළ විමසීමකදී සඳහන් කළේය. තමන්ට එම චාරිකාවට සහභාගී වීමට විශේෂ අවශ්‍යතාවයක් නැතත් තමන්ට වෙනස්කොට සැළකීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිල විමසීමක් සිදුකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

