කොවිඩ්-19

ලෝකෙටම ණයවෙලා ගෙන්නපු ෆයිසර් එන්නත් විශාල තොගයක් විනාශ කරයි

කොවිඩ්-19 වසංගත තත්වය පාලනය සඳහා විවිධ ක්‍රමවලින් ලෝකයෙන් ලබාගත් ණය මත මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් භාවිතා කොට තිබුණේ 13% ක ප්‍රමාණයක් (එන්නත් ලක්ෂ 18ක් පමණ) පමණක් බවත් ඉතිරි එන්නත් කල් ඉකුත් වීම හේතුවෙන් විනාශ කර දැමීමට සිදු වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

මහනුවර දී පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේ වෛරසයේ ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුනේ මෙම එන්නත් ලබා ගැනීම වෙනත් රෝගවලට අතවැනීමක් වන බවට සමාජය තුළ විවිධ මත පතුරුවා හැරීම හේතුවෙන් එන්නත් ලබා ගැනීමෙන් ජනතාව වැළකීම මෙලෙස එන්නත් ඉතිරි වීමට හේතුවූ බවයි.

කෙසේ වුවත් ඉතිරී වූ විශාල එන්නත් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟතාවය මත වෙනත් රටවලට ලබා දීමට කළ උත්සාහයන් ද ව්‍යර්ථ වූ බැවින් කල් ඉකුත් වූ එන්නත් විනාශ කිරීමට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කළා. එය සාමාන්‍ය තත්වයක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ 2015 සිට නිකුත් කළ විගණන වාර්තා අනුව සෑම වසරකම මෙලෙස කල් ඉකුත් වන ඖෂධ විනාශ කිරීම සිදුවන බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඉකුත් සමයේ ෆයිසර් එන්නත සඳහා වැඩි වශයෙන් ඉල්ලුමක් තිබූණත් සයිනොෆාම් එන්නත පමණක් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස එන්නත් ඉතිරි වී ඇති බවයි. සම්බන්ධතා මත හෝ තෝරාගත් ප්‍රදේශවල පමණක් ෆයිසර් එන්නත් ලබා ගැනීමට හැකි වීම මෙලෙස විශාල එන්නත් ප්‍රමාණයක් ඉතිරි වීමට බලපෑ බවත්, තරුණයින් වැඩි වශයෙන් ෆයිසර් එන්නත ඉල්ලුවත් එයට සාධාරණ අවස්ථාවක් ලබා නොදීම ගැටළුකාරී බවත් ඔවුන් පවසනවා. මේ අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අනෙකුත් එන්නත් ද විශාල වශයෙන් ඉතිරි වී ඇති බවත්, ඒවායේ කල් ඉකුත් වන දිනයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුව අවස්ථා කිහිපයක දී සංශෝධනය කර ඇති බවත් ය.

Rivira FB Group Rivira Youtube
To Top