පසුගිය කාලය තුළ අවස්ථා රැසක දී ඉහළ දැමූ විදුලි ගාස්තු ඔක්තෝම්බර් මස 01 දින සිට යළිත් ඉහළ දැමීමට අවසර දෙන ලෙස විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සියලු කාණ්ඩවලට අයත් ගෘහස්ථ විදුලි ඒකකයක් අවම වශයෙන් රුපියල් 8කින් ඉහළ දැමීම සඳහා ය.
රටක තෙල්, විදුලිය ඇතුළු සේවා රජය විසින් පවත්වාගත යුත්තේ ඒවා ලාභය අරමුණු කර නොගත් සේවා ලෙස පැවතිය යුතු වීම ප්‍රධානතම සාධකයක්. 2023 වර්ෂය දක්වා විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලබන ආයතන ලෙස පැවතිනි. ඊට හේතු වූයේ වෙළඳපොල මිලට වඩා අඩු මිලකට එම සේවා ලබා දීම නොවන බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් විය හැක. දූෂණය, නාස්තිය හා දේශපාලනික ලෙස අධික සේවකයින් ප්‍රමාණයක් බඳවා ගැනීම හා ඔවුන්ට අධික වැටුප් හා වරප්‍රසාද ලබා දීම එලෙස පාඩු ලැබීමට හේතු වී තිබේ. විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය කුමන හේතු ඉදිරිපත් කළ ද සැබෑ හේතුව වී ඇත්තේ මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ද පෙන්වා දෙනවා.
2022 වසරේ දී නිකුත් කළ වාර්තාවක් අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයින් 30,000ක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4ක මුදලක් එනම් මිලියන 4,000ක මුදල් මාසිකව වැයවන බව සඳහන් විය. එනම් වැටුප් වියදම සේවකයින් ප්‍රමාණයෙන් බෙදූ විට සේවකයෙකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 133,000ක් පමණ වේ. මීට අමතරව තෙල් සංස්ථා හා විදුලිබල වෘත්තීය සමිති සහ අමාත්‍යංශය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමක් අනුව සෑම වසර 3කට සැරයක් වැටුප් හා දීමනා 25%කින්වත් ඉහළ දැමීම සිදුවේ.
මේ සඳහා වැයවන්නේ සියලු දෙයින් බැට කන පොදු මහජනතාව විදුලි බල්බයක් දැල්වීමෙන් හා තම යතුරු පැදියට ලබාගන්නා ඉන්ධනවලට ගෙවන මුදල් ය.
අනෙක් පසින් වරින්වර මෙලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීම තුළින් රටේ ඉතිරි වී තිබෙන කර්මාන්ත ශාලා ප්‍රමාණයත් වැසී යාමට හේතුවිය හැක.
විදුලිය පාවිච්චි කරන්නන්නගේ සංගමයේ ජාතික සංවිධායක සංජීව ධම්මික පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු ඉහල යාම සියලු ක්ෂේත්රවලට අහිතකර ලෙස බලපෑමක් ඇති කරන බවයි. එසේම පසුගිය දා රිවිර.lk වාර්තාවකින් පෙන්වා දුන්නේ ඇතැම් පවුල්වල රජයේ සේවකයෙකුගේ මාසික වැටුප විදුලි හා ජල බිල්පත් ගෙවා දැමීමෙන් පසු අවසන් වන තත්වයක් උදා වී ඇති බවයි.
මෙවැනි තත්වයක් තුළ ඔක්තෝබර් මස 01 වන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකරමින් කොමිසමට දැනුම් දී ඇත්තේ 2023 වසරේ ජූලි සහ දෙසැම්බර් කාලවකවානුවට අදාළව සිය ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් ඇති බවයි.
ඒ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ ජල විදුලි උත්පාදනය පහළ යෑම, ගල් අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යාම සහ විදුලි ඉල්ලුමේ ඉහළ යාමයි. නමුත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එය අමූලික බොරුවක් බවයි. මේ වනවිට රටට සැළකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබෙන බවයි. අවශ්‍ය වන්නේ ජල විදුලි උත්පාදනය නිසි පරිදි කළමණාකරණය කිරීම හා ඉල්ලුම නිවැරදි ලෙස ඇස්තමේන්තු කොට ඒ සඳහා පූර්ව සැළසුම් ක්‍රියාත්මක කිරීමයි. නමුත් විදුලි බලමණ්ඩලයේ වැඩි කැමැත්තක් ඇත්තේ විදුලිය කැපීමට තරම් ගැටළු උත්සන්න වනතෙක් සිට හදිසි විදුලි මිල දී ගැනීම් සිදුකිරීමටයි. මේ අර්ථයෙන් ගත්විට දැනට සිදුවන්නේ රජයේ විදුලිබල මණ්ඩලය රාජ්‍ය අනුග්‍රහයෙන් පාරිභෝගිකයින් කොල්ලකෑමයි.

