දේශීය පුවත්

කුරුන්දි විහාරය කඩා ඉවත් කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී රටින් යයි

මුලතිව් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටී.සරවනරාජා ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබෙනවා. සැප්තැම්බර් 23 දිනැතිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු සදහන් කර ඇත්තේ දැඩි මානසික ආතතිය සහ ජීවිත තර්ජන හේතුවෙන් තමන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් අදාළ හිටපු විනිසුරුවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී තිබිණි. ප්‍රධාන වශයෙන්ම කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු මතභේදාත්මක විය. එසේම කොක්කුඩුතුවායි හී මිනිස් අස්ථි කොටස් හමුවීමට අදාළ කටයුතුවලට ද සහභාගී වූ මහේස්ත්‍රාත්වරයා ඔහු වූ බැවින් මෙය ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව එල්ලවන චෝදනාවක් බවට පත්වීමට ඉඩ ඇති බැවින් මෙම “ඉල්ලා අස්වීම” පිළිබඳ විධිමත් අවධානයක් යොමුවීම වැදගත් වනු ඇත.

කුරුන්දි කතාව

ඓතිහාසික කුරුන්දි විහාර චෛත්‍යයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙස මුලතිව් හිටපු මහේස්ත්‍රාත්වරයා ඉකුත් වසරේ ජූලි 14 දින නියෝග කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද සංරක්‍ෂණ ව්‍යාපෘතිය අවසන් කර සර්වඥ ධාතූන් වහන්සේ චෛත්‍යයේ තැන්පත් කිරීම ඉකුත් ජුනි මස 12 වැනිදා සිදුකිරීමට නියමිතව තිබුණද දෙමළ දේශපාලනඥයින් ඇතුළු අන්තවාදීන්ගේ විරෝධතා හේතුවෙන් එය අත්හිටුවා තිබූ පසුබිමකයි.

කුරුන්දි විහාරයට එරෙහි නඩුවට අදාළව විරෝධතාකරුවන් විසින් ගොනු කරන ලද මෝසමක් මගින් එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සියලු ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, ඉදිරි ඉදිකිරීම් කටයුතුවලින් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කර තිබූ බව කුරුන්දි විහාරයේ ශාන්තබෝධි හිමියෝ පැවසූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කරුණු සැළකිල්ලට නොගනිමින් හුදෙක් අන්තවාදී මතයන් පමණක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයට එරෙහිව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව එහිදී ශාන්තබෝධි හිමියෝ පැවසූහ.

ඉල්ලා අස්වීම හා සම්බන්ධ කතාව

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් තමන් ලබා දුන් නියෝග වෙනස් කරන ලෙසට රජයෙන් බලපෑම් එල්ල වූ බවක් සරවනරාජා ප්‍රකාශ කළ බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහු ධූරය දරන අවස්ථාවේ කිසිඳු ආයතනයක් වෙත නිල වශයෙන් පැමිණිලි කර නොමැති බව මේ වනවිට තහවුරු වී තිබේ.

එසේම මහේස්ත්‍රාත්වරයෙකු ලෙස තමන්ට ලබා දුන් පොලිස් ආරක්ෂාව ද අඩු කිරීමට කටයුතු කර තිබු බවට ඔහු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමක දී ඔහු තහවුරු කර සිටියේ කිසිවිටෙක අදාළ හිටපු මහේස්ත්‍රාත්වරයාගේ හෝ වෙනත් කිසිඳු අධිකරණ විනිසුරුවරයෙකු වෙත ලබා දී ඇති ආරක්ෂාවේ කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි. එසේම එවැනි ආරක්ෂාව ඉවත් කිරීමක් පිළිබඳ පැමිණිල්ලක් හෝ ඔහු විසින් ඉදිරිපත් කර නොමැති බව ද තහවුරු කෙරුණි.

එසේම අදාළ හිටපු මහේස්ත්‍රාත්වරයා කළ බව කියන තවත් බරපතල ප්‍රකාශයක සඳහන්ව තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වන නීතිපතිවරයා තමන්ට කැඳවීමක් කර කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් ලබා දී ඇති නියෝගය වෙනස් කරන ලෙසට බලපෑම් කළ බවයි. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ එවැනි කිසිඳු බලපෑමක් සිදු නොකළ බවයි. නමුත් අදාළ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවෙකු කරමින් අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩු කිහිපයකට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් අදාළ මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිසම හරහා ඉල්ලා තිබූ බවත්, ඒ අනුව තම දෙපාර්තමේන්තුවේ සේවාදායකයෙකු ලෙස ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නිල වශයෙන් අදාළ මහේස්ත්‍රාත්වරයා හමුවූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ හිටපු මහේස්ත්‍රාත්වරයා එල්ල කර ඇති බව කියන කිසිඳු චෝදනාවක් ධූරයේ රැදී සිටිය දී සටහන් කර නොමැති බවයි. යම් මහේස්ත්‍රාත්වරයෙකුට යම් බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර රැසක් පැවතිය දී එම ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බව මේ වනවිට තමන් වෙත වාර්තා වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. එසේම අදාළ ඉල්ලා අස්වීමට පෙර විදේශ තානාපති කාර්යාල සමග සමීප සබඳතා පවත්වා ඇති බවට තමන් වෙත වාර්තා වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට අමතරව අදාළ හිටපු මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ විසින් අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තම සැමියා මානසික ආබාධයකින් පෙළෙන බව සඳහන් කර ඇති බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එසේම ඉකුත් අගෝස්තු 22 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ආචාර්ය සරත් වීරසේකර අනාවරණය කර තිබුණේ ටී. සරවනරාජා විනිසුරුවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි. පසුව ඊට විරෝධය පළ කරමින් මුලතිව් නීතිඥවරුන් පිරිසක් හර්තාල් ව්‍යාපාරයක් ද පවත්වා තිබුණා.

ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණයක්

මරණ තර්ජන ඇති බව පවසමින් ටී. සරවණරාජා හිටපු මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී තිබෙනවා.

ජර්මනියේ සිටින ජනාධිපතිවරයා අදාළ සිදුවීම දැනගත් වහාම මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට හෝ තම ධූරයේ කටයුතුවලට අදාළව බලපෑම් සිදුවන බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් නොදී ඉල්ලා අස්වී තිබීම හේතුවනි.

ජනාධිපති ලේකම්වරයා කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ අදාළ හිටපු මහේස්ත්‍රාත්වරයා ඉකුත් සැප්තැම්බර් 24 දින හිටිහැටියේම විදේශගතව ඇත්තේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් අනුගමනය කළ යුතු පෙර දැනුම් දීමක් සිදුකිරීමෙන් තොරව එහෙත් සැප්තැම්බර් 23 දාතමින් සිය අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කිරීමෙන් බවයි.

ඒ අනුව, අදාළ චෝදනා සහ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ විමර්ශනයක් සිදුකරන බව ජනාධිපති ලේකම්වරයා පවසයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ “ජීවිත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ දමිළ මහේස්ත්‍රාත්වරයෙක් රට හැර යයි” ලෙස වූ සිරස්තලයක් යටතේ යි.

Rivira FB Group Rivira Youtube
To Top