මහියංගනය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැරට සහභාගි වූ ඇතින්නියකට කළ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ මාපාකඩ වැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක භටයෙකු වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ දැනුම් දීමකට අනුව මහියංගනය පොලිසිය විසින් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් සඳහන් කළේ මහවැලි ගං ඉවුරේ දම්වැල් සහිතව ගැට ගසා සිටි ඇතින්නියට වාහනකයින් පැමිණි පිරිසක් අතර සිටි පුද්ගලයෙකු වෙඩි තැබූ බවයි. එහිදී ඒ හීලෑ ඇතෙකු බවත් එසේ කලේ ඇයිදැයි විමසූ පසු තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී පැමිණි වාහනයෙන්ම ආපසු යෑමට කටයුතු කළ බව හස්තිපාලකයා සඳහන් කළා.
වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වන අලියෙකු ලෙස වරදවා වටහාගෙන අදාළ නිලධාරියා වෙඩි තබා ඇති බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ වැරදීමකින් ‘සීතා’ ඇතාට රබර් උණ්ඩ එල්ල කර ඇති බවයි. තුවාල ලැබූ ඇතින්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරමින් සිටින බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකයේ මහාචාර්යවරුන් ඇතින්නට ප්‍රතිකාර කරමින් සිටින අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇතින්නගේ හෘදය වස්තුව අසළ පතුරම් ඇති බවට සැකකරන බවත්, ආහාර ගනිමින් සිටිය ද ඇතින්නගේ තත්වය යහපත් නොවන බවයි. එසේම වෙඩ් තැබූ ස්ථානය අනුව එය සතා එළවා දැමීමට තැබූ වෙඩිල්ලක් නොවන බව පවසා සිටියා. එම මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ ව්‍යාධිවේද මහාචාර්යවරයා පැමිණීමට නියමිත බවත් අනතුරුව වෙඩි තැබූ අවිය සහ හානිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවත් ය.

