විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ විදුලිබල මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් ඉන් පසු ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තුවක් අය කරන රට බවට පත්වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කෙරෙන රටවල් අතර 3 වැනි ස්ථානයේ පසුවන බවත් ඔහු අනාවරණය කළා. විදුලි උත්පාදනය සඳහා නව ක්‍රමවේදයක අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ හරහා නිෂ්පාදන මිල අවම කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු සඳහන් කළා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලි හා ජල ගාස්තු රජයේ සේවකයෙකුගේ අවම වැටුපෙන් 60%-70% අතර පවතින බවට එම සේවකයින් පෙන්වා දෙනවා. නිවෙස් කුලිය ද ගෙවූ පසු වැටුප අවසන් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර තෙල් හා විදුලි වෘත්තීය සමිති සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමක් අනුව සෑම වසර 3කට වරක්ම විදුලි හා තෙල් සේවකයින්ගේ වැටුප් ඉහළ දැමෙනවා. තෙල් හා විදුලිය සේවකයින්ගේ වැටුප අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවකයින්ගේ වැටුප මෙන් කිහිප ගුණයක් බවයි වැටුප් වාර්තා පෙන්වා දෙන්නේ. එසේම පසුගිය වාර්තාවක සඳහන් වූයේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 30,000කට වැටුප් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට මාසිකව රුපියල් බිලියන 4ක් එනම් මිලියන 4,000ක් වැයවන බවයි. එනම් එම මුදල සේවකයින් ප්‍රමාණයෙන් බෙදූ විට සාමාන්‍ය වැටුප රුපියල් 133,333ක් පමණ වේ.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම ඊයේ (සැප්තැම්බර් 30) දැනුම් දුන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ තීරණය ඔක්තෝම්බර් මස 18 දිනෙන් පසුව ගන්නා බවයි.

