කෘතහස්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝබර් 09 අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ සාමාජිකයින් සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 14ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අතර 1958 වසරේ ජූලි මස 08 දින රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසු විය.
නවතම චිත්‍රපටයේ රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි නිවෙස බලා පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය පාර හරහා ගිය වන අලියෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුවී තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබුවත් පසුව සුවය ලබා ඇති බවත්, යම් සිදුවීමක් හේතුවෙන් නැවතත් අසාද්‍ය තත්වයකට ජැක්සන් ඇන්තනී මහතා පත් වූ බවත් විවිධ පාර්ශව රූපවාහිනී වැඩසටහන්වල දී සඳහන් කර තිබුණි.
ඒ අවස්ථාවේ සිට මිය යන දිනය දක්වා ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ඇඳක ප්‍රතිකාර ලැබීම ඇතැමුන්ගේ දෝෂ දර්ශනයට පවා ලක් වී තිබුණි. ජැක්සන් ඇන්තනී මහතා කාලයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනික වශයෙන් සහයෝගය පළ කිරීම සහ මීට දශයකටත් එපිට ජාතික රූපවාහිනියේ විකාශය වැඩසටහනක් අතරතුර මහින්ද රාජපක්ෂ සහ බුදුන් වහන්සේ අතර ඇති ඥාතීත්වයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මත බොහෝ දෙනෙකුගේ වෛරයට ජැක්සන් ඇන්තනී පාත්‍ර වී තිබුණේ දේශපාලනික හේතූන් මතය.

නමුත් දැනට බොහෝ කාලයකට පෙර සිට ජැක්සන් ඇන්තනී දේශපාලනික පක්ෂ හෝ පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වීම නතර කර තිබූ බවත්, කිසිවෙකුටවත් සහය දැක්වීමක් සිදු නොකළ බවත්, ක්ෂේත්‍රයේ හිතවතුන් හොඳින්ම දන්නා කාරණයකි. එවන් පසුබිමක පවා ඇතැම් පිරිස් දේශපාලනික උසි ගැන්වීම් මත ජැක්සන් ඇන්තනී මහතාට එරෙහිව වෛරී සහගත ප්‍රකාශ සිදුකරමින් ඔහුට බදු මුදලින් ප්‍රතිකාර කිරීමට දැඩි විරෝධයක් පළ කරන අයුරු පෙනෙන්නට තිබුණි.

කෘතහස්ත කලා ශිල්පියෙකු වන ජැක්සන් ඇන්තනී මහතා කලා ක්ෂේතයේ විවිධ දිශානතීන් ඔස්සේ තම ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවෙකි. විටෙක අති විශිෂ්ඨ රංගධරයෙකු ලෙසත්, තවත් වරෙක දක්ෂ ඉතිහාස ගවේශකයෙකු ලෙසත්, වරෙක දක්ෂ රූපවාහිනී සන්නිවේදකයෙකු ලෙස, තවත් වරෙක ගේය පද රචකයෙක් ලෙසත්, අති දක්ෂ ගායකයෙකු ලෙසත්, වරෙක විශිෂ්ඨ ලේඛකයෙකු ලෙසත් ගුණාත්මක කාර්යභාර්යක් කළ ජැක්සන් ඇන්තනී මහතාව ඇතැමුන් හැඳින්වූයේ “ඇවිදින පුස්ථකාලයක්” ලෙසයි. එසේම ඔහු අති දක්ෂ මාධ්‍යවේදියෙකු හා වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස සිදුකළ සුවිශේෂී කාර්යභාර්ය ද සම්මානයට පවා පාත්‍ර වී තිබේ.
තමන් නියැළුනු ක්ෂේත්‍ර ගණනාවකට අදාළව හොඳම සම්මාන හා ජනප්‍රියම යන කාණ්ඩ දෙක යටතේම දේශීය හා විදේශීය සම්මාන රැසක් අත්කරගත් දුර්ලභ ගණයේ කලාකරුවෙකි.
කෘතහස්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට මොක්සුව ලැබේවායි “රිවිර.lk” ප්‍රාර්ථනයයි.

