යුරෝපීය රටවල් මේ වනවිට පලස්තීනයට සහයෝගය පළ කරන රැලි සඳහා සීමා පැනවීමට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායලය වෙනුවෙන් සහයෝගය පළ කෙරෙන පෙළපාලි සඳහා කිසිදු සීමාවක් හෝ තහනම් කිරීමක් සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් පසුගිය බ්‍රහස්පතින්දා පලස්තීන ගැති පෙලපාලි තහනම් කළේය. ඒ ලොව පුරා පලස්තීනුවන්ට සහය දක්වමින් විරෝධතා පවත්වන ලෙස හමාස්හි හිටපු නායකයා ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසුවයි.
හමාස් සංවිධානයේ හිටපු ප්‍රධානී Khaled Meshaal ඔක්තෝබර් 11 දින ලොව පුරා මුස්ලිම් ජනතවාගෙන් ඉල්ලා සිටියේ ලෝකය පුරා පලස්තීනුවන්ට සහය පළ කරමින් විරෝධතා පවත්වන ලෙසත් අසල්වැසි රටවල ජනයා ඊශ්‍රායලයට එරෙහි සටනට එක්වන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ එම රටවලට පලස්තීනයට සහය දැක්වීමට “යුතුකමක්” ඇති බව පවසමින්.
මේ අතර හමාස් නායකයාගේ ඉල්ලීමෙන් පසුව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල්වල විවිධ මට්ටමෙන් පලස්තීනයට සහයෝගය පළ කරමින් #FreePalestine යන පාඨය ඔස්සේ විරෝධතා පැවැත්වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 13 දින කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ පැවති විරෝධතාවයකට එක් වෙමින් සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් ප්‍රබල ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ “එදා මහත්මාගාන්දි කිව්වා 40ස් ගණන්වල ඉංග්‍රීසි ජාතිකයින්ට එංගලන්නේ අයිතියි වගේ, ප්‍රංශ ජාතිකයින්ට ප්‍රංශයට අයිතියි වගේ පලස්තීනය අරාබි ජාතිකයින්ට අයිතියි කියලා කිව්වා. එදා ඊශ්‍රායලය කියලා රටක් ගොඩනැගුවා. එදා ඊශ්‍රායලය කියලා රටක් තිබුණේ නෑ. එදා ඒ රට ගොඩනැගුවේ පලස්තීන ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා. ලෝක බලවතුන් තමයි ඊශ්‍රායලය ගොඩනැගුවේ. ඊශ්‍රායලය පලස්තීනය කියලා රටක් තියෙනවා කියලා පිලිගන්නේ නෑ. ඒ නිසා අද පලස්තීන ජනතාව තමන්ගේ නිදහස් පලස්තීනය වෙනුවෙන් අවුරුදු 75ක් සටන් කරනවා. එදා 70 ගණන්වල සිරිමාවෝ ඊශ්‍රායලය පලස්තීනය එක්ක තිබුණ සම්බන්ධකම් අතහැරියා. අපි එදා ඉඳන් ලංකාවක් හැටියට පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. අපි හැමදාම පලස්තීන වැසියන් ආරක්ෂා කළා. අද ඊශ්‍රායලය නිදහස් පලස්තීනය පිලිගන්නේ නෑ. ඒ නිසා ඒකට විරුද්ධව පලස්තීන ජනතාව ගෙනියන ඒ අරගලයත් එක්ක අපි හිටගන්නවා. පලස්තීන අරගලයට ජයවේවා” යනුවෙනි.

