අපරාධ වාර්තා

අවිස්සාවේල්ල පොලිස් අත්අඩංගුවේ සිටි 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

පොලිස් අත්අඩංගුවේ සිටි 21 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු වන අතර ඝාතන විමර්ශනයකට අදාළව අවිස්සාවේල්ල, මානියන්ගම ප්‍රදේශයට අදාළ පුද්ගලයා රැගෙන යමින් සිටියදී ඇති වූ බව කියන පොරබැදීමකින් එම පුද්ගලයා මියගිය බව පොලිසිය පවසනවා.

පසුගිය සැප්තැම්බර් 20 දින අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ද සැකකරුවෙකු බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 170ක් පොලිසිය විසින් සොයාගැනීමත් සමග අත්අඩංගුවට ගත් බවත්, පසුව ඛ විමර්ශනවල දී මොහු ඝාතනයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මූලිකව හම්බන්තොට පොලිසිය වෙත භාර දී ඇත. පසුව සැකකරු අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇති අතර එහිදී පැය 72ක රැඳවුම් නියෝග ලබාගැනීම සඳහා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය පවසනවා. එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මියගිය පුද්ගලයාට ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී තොරතුරු සඳහන් කර තිබුණා.

සැකකරුගෙන් ලද බව කියන තොරතුරකට අනුව පොලිසිය අද පෙරවරුවේ ඔහුව අවිස්සාවේල්ල, මානිංගම, ඇත්පන්තිය පාරට රැගෙන ගොස් ඇත්තේ අධිකරණ කටයුතු සඳහා අදාළ සාක්ෂි ලබාගැනීමට බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් එම ගමන අතරතුරදී සැකකරු වෙත දමා තිබූ බව කියන මාංචු යොදාගෙන පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී හටගත් ගැටුමක් හේතුවෙන් සැකකරු සහ පොලිස් නිලධාරියා යන දෙදෙනාම තුවාල ලබා ඇති බව පොලිසිය පවසන අතර දෙදෙනාවම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ මානියන්ගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Rivira FB Group Rivira Youtube
To Top