දේශීය පුවත්

කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක් – වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අදාළ පුවත තහවුරු කරමින් කාසල් රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර සඳහන් කළේ බිලිඳුන් සහ දෙනාම ළදරු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

බිලිඳුන් 5 දෙනෙකු කාසල් රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ද, අනෙක් බිලිඳා කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ බිලිඳුන් සියලු දෙනාම කෘතිම ස්වසනය ලබමින් සිටින අතර ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක්ව පවතින බවයි. සති 26ක දී උපත ලබා ඇති අදාළ බිලිඳුන් ග්‍රෑම් 400-700 අතර උපත් බරක් ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර හැකි උපරිම ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන බවත්, වෛද්‍ය කණ්ඩායම් යුහුසුළුව එම කාර්යයේ නිරතව සිටින බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

එසේම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ නළ දරු උපත් සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් මේ වනවිට මතුව ඇති බවයි. මීට අදාළව මෙරට නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට මව්පියන් මෙන්ම සෞඛ්‍ය අංශයට ද සිදුව ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ කෘතීම දරු උපතක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කලලයක් හෝ දෙකක් තැන්පත් කිරීම සිදුකළ යුතු බවයි. නමුත් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් කලල කිහිපයක් තැන්පත් කිරීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති බවත් මේ සම්බන්ධයෙන් සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top